සංවර්ධන දර්ශක ගැන ඉහළින් කතා කළත් ලංකාවේ ඉපදෙන්නේ අඩු බර දරු උපත්……

0

2018 ලෝක ළමා දිනය වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ඊයේ (30) කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනිය සරෝජා සාවිත‍්‍රි පොල්රාජ්…

“මේ වනවිට අපේ ළමා පරපුරට රටක් අහිමි තත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ රටේ පාලකයෝ දරුවන්ට අයිති රටේ සම්පත් අත්තනෝමතික ලෙස තම පෞද්ගලික පරිභෝජනයට යොදා ගන්නවා. දරුවන්ට අයිති පරිසරය විකුණාගෙන කනවා.”

“දැනට ලංකාව තමයි දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතරින් දෙවන තැනට පත්වෙලා ඉන්නේ. ලංකාවේ ගැබිණි කාන්තාවන්ගෙන් 50%ක් රක්ත හීනතාවයෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ නිසාම ඉපදෙන දරුවන්ගෙන් 16%ක් නියමිත උපත් බර වූ කිලෝ ග‍්‍රෑම් 2.5ක් වත් නැතිව තමයි ඉපදෙන්නේ. එහෙම රටක තමයි අප මේ සංවර්ධනයේ දර්ශක ගැන කතා කරන්නේ.”

“අධ්‍යාපනය ගත්තම 2017 වසරේ සංඛ්‍යා දත්ත වලින් වයස අවුරුදු 5ත් 17ත් අතර දරුවන්ගෙන් 51,249ක් කිසිදා පාසල් ගොස් නැහැ. අපේ රටේ අධ්‍යාපනය දරුවන්ට සහනයක් නොවෙයි. අධ්‍යාපනය ආතතියක් හා භීතිකාවක්. දරුවන්ගේ ළමා කාලය අහිමි කරන ළමා කාලයක් තියෙන්නේ. ඒවගේම ලංකාවේ පාසල් වලින් 74කට තවම කිසිදු සනීපාරක්ෂක පහසුකම් නැහැ. ලංකාවේ පාසල් වලින් 33% කට පමණයි ප‍්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් තියෙන්නේ. එහෙම විෂමතාවයක කොහොමද අධ්‍යාපනයේ සම අවස්ථා හදන්නේ.
ලංකාවේ දරුවන්ට තිබෙන විශාල ගැටලූවක් තමයි මව්වරුන් විදේශගත වීම. එවැනි අනාරක්ෂිත පවුල්වල දරුවන් මත්ද්‍රව්‍ය හා වෙනත් සමාජ අපරාධවල ගොදුරු බවට පත් වීම. ළමා ශ‍්‍රමිකයන්, අන්තරායකාරී රැුකියාවල නිරතවන දරුවන්, ලිංගික හිංසනයට ගොදුරුවන දරුවන් ඇතුළු අද දවසේ ළමුන් මුහුණපාන ගැටලූ බවට පත්ව තිබෙන්නේ.” එතුමිය පවසා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ ළමා අයිතිවාසිකම් සුරැුකීම වෙනුවෙන් එම සංවිධානය මගින් සකස් කළ යෝජනා මාලාවක් ඉදිරිපත් කළා.

01. පාසල් උපකරණ හා දරුවන්ට අදාළ අත්‍යවශ්‍ය ඖෂධ සදහා ආණ්ඩුව පනවා ඇති බදු වහා අඩු කළ යුතුයි.

02. ළමා සෞඛ්‍ය වෙනුවෙන් විශේෂයෙන් අධික තරබාරුව හා දියවැඩියාව පිටු දකින ආහාර නීති සකස් කළ යුතුයි. දරුවන් සදහා විකිණීමට ඇති ක්ෂණික ආහාරවල සීනි හා පිටි සම්බන්ධව රූපමය අවවාද හා නීති ස්ථාපිත කිරීම.

03. කාන්තා හා ළමා හිංසනයට එරෙහිව නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සදහා ඒ වෙනුවෙන් සැකසූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම.

04. අධ්‍යාපනයෙන් පිටමන් වන දරුවන් විශේෂයෙන් ආගමික නීති රීත හේතුවෙන් අඩු වයසින් විවාහ වීම හා වෙනත් හේතු මත අධ්‍යාපන අවස්ථා අහිමිවීම වැලැක්වීම සදහා නීති සැකසිය යුතුය.

05. රැකියා සදහා විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සොයා බැලෙන විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here