20 සම්මත වුණාට පස්සේ දුටුගැමුණු ආවත් රට බේරගන්න බෑ!

0

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවකින් තොරවම උතුරට ස්වයං පාලනයක් ලැබෙනු ඇති බවත් එවන් තත්ත්වයකදී දුටුගැමුණු මහ රජතුමන් වැනි ශ්‍රේෂ්ඨ නරපතියකුට මේ රටේ පාලන බලය ලැබුණත් ඒ වනවිට ඔහුට කළ හැකි කිසිවක් ඉතිරිව නොපවතිනු ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ජානිපෙ පුත්තලම් දිසා සභාව විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන්කළා.

“ජාතියකට සිදු විය හැකි ලොකුම විපත තමයි ඒ ජාතිය සතු රාජ්‍යය ඔවුනට අහිමි කිරීම. ලාංකීය ස්වදේශික ජනයාට අයිති රාජ්‍යය පැහැර ගැනීම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් සිදු කළේ කෙලින් ඇවිල්ලා. නමුත් අද මේ රාජ්‍යයේ උරුමකරුවන් වන ස්වදේශික ජනයාට නොදැනෙන පරිදි එය පැහැර ගැනීමකුයි සිදු වෙමින් ඇත්තේ.”

“අද ඒ මෙහෙයුම පැති තුනකින් සිදු වෙමින් පවතිනවා. ඒ සම්පූර්ණ පින්තූරය තේරුම් ගැනීමට නොහැකි වුවහොත් මේ රාජ්‍යයේ උරුමකරුවන් එය තුළම අවතැන්වවූන් බවට පත් වෙනවා. මේ පරගැති හවුල මේ රට ඇදගෙන යන්නේ එතැනට. ආර්ථිකමය පැත්තෙන්, ව්‍යුහාත්මක හෙවත් ව්‍යවස්ථාමය පැත්තෙන් හා ජාතික ආරක්ෂාව පැත්තෙන් තමයි මේ රාජ්‍යය අපිට අහිමි කිරීමේ මෙහෙයුම දියත් වෙමින් තිබෙන්නේ.”

“කොහොමහරි දැන් රට බෙදන්න, අස්ථාවර කරන්න, අපි උපන් රටේ අනාථයන් බවට පත් කරන්න උවමනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙට දුන්නා අරගෙන එන්න. නමුත් මේක හැදුවේ ජවිපෙ නොවෙයි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්, රට කෑලි 09කට කඩනකම් නින්ද යන්නේ නැති ජයම්පති වික්‍රමරත්න හා තවත් සුරේෂ් නැමැති එන්ජීඕකාරයෙක් එකතුවෙලයි මේක හැදුවේ.”

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න හදන්නේ රටේ ශිෂ්ටත්වය හැදීමලු. දැන් බලන්න ලිබියාවේ ගඩාපි එලවලා දැම්මේ ශිෂ්ටත්වය හදන්න කියලා. නමුත් දැන් ආයෙත් ලිබියාවේ වහල් වෙළඳාමත් පටන් අරන්. ඔන්න ලැබුණු ‘නල්ලමලේ ශිෂ්ටත්වය’. මේ වැඩෙන් අවසානයේ ලංකාවට ලැබෙන්නේ ශිෂ්ටත්වය වෙනුවට අශිෂ්ටත්වය. සමගිය වෙනුවට අසමගිය. 20 වැනි සංශෝධනය සම්මත වුණොත් ජනාධිපතිවරණය අහෝසි වුණාට ජනාධිපතිවරයෙක් ඉන්නවා. එයාගේ බලතල අඩු වෙනවා. එයා විධායක ජනාධිපති නොවුණාට ‘නාමමාත්‍රික ජනාධිපති’ කියලා කොහොවත් සඳහන්ව නැහැ.”

“එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙලා තිබෙනවා. ‘20 වැනි සංශෝධනය සම්මත වුණාම ජනාධිපති තෝරන්නේ මේ පාර්ලිමේන්තුවෙන්. එහෙම වුණාම අපි ඊළඟ අවුරුදු හයත් ඔබතුමාම ජනාධිපති විදියට තියාගන්නම්. ඒ නිසා අපිත් එක්ක අවුලක් හදා නොගෙන ඉතිරි තුනත් යමු’ කියලයි ඔවුන් ජනාධිපතිවරයාට පවසා තිබුණේ. දැන් බලන්න, මේ අය 20 පෙන්නලා සිරිසේන ජනාධිපතිවරයාවත් හික්මවා ගන්න හදනවා.”

“මේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ, රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි. සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලුදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට දෙන උදව්ව. ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයෙකුට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරණය අහෝසි කරලා දෙනවා.
‘රට අරාජික වීම’”

” රාජ්‍යය සම්බන්ධයෙන් තීරණ ගන්නා තැන් දෙකතුනක් තිබෙන්න විදියක් නැහැ. අගමැති ළඟ බලය වැඩියෙන් තිබෙනවා. ජනාධිපති ළඟ තව ටිකක් තිබෙනවා. පළාත් සභාවලටත් යම් බලයක් ලැබෙනවා. මෙහෙම වුණාම රට අස්ථාවර වෙනවා. පළාත් සභාවක් ‘වෙන් වී යා යුතුයි’ කියා තීන්දු කළොත් එහි බලය පවරා ගන්න ජනාධිපතිට බැහැ. ‘එහෙම වුණොත් මොකද කරන්නේ ?’ කියා 20 වැනි සංශෝධනයේ කොතැනකවත් නැහැ. මෙතැන දී වෙන්නේ මුදුන හෙවත් මධ්‍යම ආණ්ඩුව සතු බලතල කප්පාදු කරලා පරිධිය හෙවත් පළාත් ආණ්ඩුවලට වැඩි බලයක් ලබා දීම. එහෙම තත්ත්වයක දී උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහි වීමේ හැකියාව වර්ධනය වෙනවා. මේ තමයි ව්‍යුහාත්මක වශයෙන් හෙවත් ව්‍යවස්ථානුකූලව මේ රාජ්‍යය අපට අහිමි කරමින් තිබෙන ආකාරය. මේ 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ඉන්පසු දුටුගැමුණු මහ රජතුමන් වැනි මහා වීරයකු මේ රටේ පාලන බලය අතට ගත්තත් කිරීමට කිසිවක් ඉතිරි වන්නේ නැහැ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here