අවුරුදු දෙකක්දි පොහොට්ටුවෙන් ලෝක වාර්තාවක්…..!

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා මාස 16ක් තුළ 71%ක පළාත් පාලන ආයතන ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හරහා ලෝක වාර්තාවක් තැබීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති ජී එල් පීරිස් පවසනවා.

ඊයේ (01) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“ලබන මාසේ වෙනකොට අපේ පක්ෂය හදල අවුරුදු දෙකක් වෙනවා. පක්ෂය හදල මාස 16කදී අපි ලෝක වාර්තාවක් තැබුවා.අපි පක්ෂය හදලා එවැනි කාලයක් තුළ පළාත් පාලන ආයතන 71% ජයග්‍රහණය කළා. ඒ වගේම අපි දැන් පක්ෂයේ සම්මේලනය පවත්වනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා එම පක්ෂ සම්මේලනයේදී නායකත්වය භාරගත යුතුයි කියන එකයි අපේ වගේම පක්ෂයේ සියලු දෙනාගේම ඉල්ලීම. ඒ වගේම අපේ පක්ෂයේ ව්‍යවස්ථාව දැන් සකසා අවසන්. ඊට සමගාමීව කාන්තා පෙරමුණු, තරුණ පෙරමුණු ව්‍යවස්ථා සකසලා අවසන් වෙලා තියෙනවා.”

“පොලිස් බලතල යම් ප්‍රමාණයක් හමුදාවට භාර දෙනවා නම් උතුරේ ආවා කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියලා යුද හමුදාපතිතුමා කියලා. අපි සම්පූර්ණයෙන්ම එයට විරුද්ධයි. හමුදාව කියනවා අපට භාර දුන්නොත් කරනවා කියලා. ඇයි එහෙම කියන්නේ ඊට හේතුව පොලිසිය වැඩේ හරියට කරන්නේ නෑ. පූජිත් ජයසුන්දර පොලිස්පති තනතුරට සම්පූර්ණ නුසුදුස්සෙක්. දැන් එතුමාට අල්ලස් චෝදනාවක් තියෙනවා. එය පරීක්ෂණය කරන්නේ අමාත්‍යාංශය තුනක අතිරේක ලේකම් තිදෙනෙක්. එය ඇස්බැන්දුම් වැඩක්.”

“ඒ වගේම පොලිස් කොමිසම කියනවා. අපේ තීන්දු ක්‍රියාත්මක කරන්නේ නෑ. පොලිස්පතිතුමා හිතුවක්කාරයි කියලා ඒ අය කියනවා. පොලිස්පතිතුමා පොලිස් කොමිසම පැත්ත පළාතක එන්නේ නෑ.”

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මෙවර යූ.එන්. සමුළුවේදී කරපු කතාව අවම අවංකභාවයකින් කළ දෙයක් නම් එතුමා ශ්‍රී ලංකා රජයේ විධායක ජනාධිපති හැටියට 2015 යෝජනාවයි 2017 යෝජනාවයි ඉල්ලා අස්කර ගන්න ඕන. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත එය දැනුම් දිය යුතුයි. දෙවනුව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට දැනුම් දිය යුතුයි. අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා කියලා.” මහාචාර්යවරයා පවසා සිටියා.