20ට අකමැති වෙන්නේ ජාතිවාදීන්…..නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

0

රටේ දේශපාලකයින් බලය ලබා ගැනීමේ කෙටි ක්‍රමයක් ලෙස ජාතිවාදය යොදා ගන්නා බවත් 20 වෙනි සංශෝධනයට විරුද්ධ වන්නේ ද එවන් ජාතිවාදී අරමුණ ක පිහිටමින් බවත් ආචාර්ය චාල්ස් දයානන්ද සඳහන් කරනවා.

ඊයේ (01) පැවති ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.

“විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අතීතයේ සිටම අරගලයක් තිබුණා. දැන් ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ යෝජනාව බහුජන සාකච්ඡුාවකට ලක්විය යුතුයි. පුළුල් කතිකාවක් අවශ්‍යයි. එකවරම මෙය ප‍්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය හොඳ නැහැ කියන මතය අද ඊයේ ඇතිවූ දෙයක් නොව එය විධායක ජනාධිපති ක‍්‍රමය ඇතිවූදා පටන් තිබූ එකක්. මෙතෙක් හිටපු සෑම විධායක ජනාධිපතිවරයෙක්ම බලයට පත්වූනේ මෙය අහෝසි කරනවා කියන පොරොන්දුව දීලා. ඒ පොරොන්දුවට තමයි මහජනතාව ඡුන්දය දුන්නේය. නමුත් කලින් නරකයි කියපු අයම අද කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය හොඳයි කියලා. සාමාන්‍ය පුරවැසියන් ලෙස එය අපිට හැෙඟන්නේ ඒ තුළ යම් දේශපාලන කුහකත්වයක්, දේශපාලන අවස්ථාවදීකමක් තිබෙනවා කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම වෙනුවෙන් ගෙනා සංශෝධනය පිළිබඳව එවැනි දේශපාලන අවස්ථාවාදී කතා මතුවෙනවානම් එය කණගාටුදායකයි. 20 සඳහා දේශපාලන විරුද්ධවාදීන් ඊට එරෙහිවීමට ජාතිවාදය භාවිතා කරන බව අපිට පේනවා. මොකද දේශපාලන බලය ලබාගැනීමේ කෙටි ක‍්‍රමයක් ලෙස අපේ රටේ ජාතිවාදය භාවිතා කරනවා.”

“අද බොහෝ අය මතුකරන කාරණයක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් බෙදුම්වාදය ඉස්මතු වෙනවා කියන කාරණය. රට දෙකඩ වෙන්න පුළුවන්. කොටි සංවිධානය නැවත ඇති වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. යුද්ධය අවසන් කළේ විධායක ජනාධිපති ක‍්‍රමය කියලා ඔවුන් කියනවා. නමුත් ඇත්ත තත්වය යුද්ධය ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. 77 ජේආර් බලයට ආවට පස්සේ ඇති කළ විධායක ජනාධිපති ක‍්‍රමයෙන් පස්සේ තමයි යුද්ධය ඇතිවුණේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වාගේ උතුර මර්දනය කරන්නට දරුණු අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983 ජාතිවාදී කෝලාහළය ඇතිකළා. මේ සියල්ලටම විධායක ජනාධිපති ධුරය පිටුපස සිට සහය දැක්වූවා. එතැන් පටන් ඇතිවූ යුද්ධය විධායක ජනාධිපතිවරු පස්දෙනෙකුට නවත්තගන්න බැරිව ගියා. යුද්ධය අවසන් කළේ විධායක ජනාධිපති කියලා කියනවානම් යුද්ධය ඇති කළේ විධායක ජනාධිපති ධුරයම තමයි. ඒ නිසා මිත්‍යාවන්ට ජනාතව ගොදුරු විය යුතු නැහැ. ජාතිවාදය යොදා ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. 20වැනි සංශෝධනය ගැන පුළුල් කතිකාවක් ගොඩනගනවා මිසක රට දෙකඩවෙනවා, බෙදුම්වාදය ඇති වෙනවා කියලා මේය එකවරම ප‍්‍රතික්ෂේප කිරීම තුළ අපිට පේන්නේ ජනතාව කුපිත කිරීම සඳහා ඉතාම ලාභ සහ ලේසි සටන් පාඨය ලෙස ජාතිවාදය යොදාගන්න බවයි. අපි ජාතිවාදයෙන් බැටකෑවා හොඳටම ඇති. ආඥදායකත්වය ඉවත් කොට පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් ගොඩනගාගන්න 20 යොදාගන්න පුළුවන්. ඇතැම් කැබිනට් මණ්ඩල තීරණ ජනාධිපති අත්තනෝමතික තීරණ අනුව අවලංගු කරනවා. එය ආඥාදායක ස්වරූපයක්. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා යන ආයතනවලට විහිදී ගිය බලයක් සහිත ස්වාභාවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වාසිසහගතයි. අපේ ප‍්‍රාර්ථනාව එයයි. නමුත් එම සංශෝධනයේ අඩුපාඩු තිබෙනවානම් අපි ඒවා සාකච්ඡුා කරගතයුතුයි. අවුරුදු 20ක් 30ක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ජයග‍්‍රහණය දක්වා ගෙනයමු.” ඔහු එහිදි පවසා සිටියා.