මංගල කියන්නේ අමු කෙප්ප … තෙල් මිල සූත්‍රයක් නෑ

1

තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බවත් ලංකා ඛනිජතෙල් සේවක සංගමය සඳහන් කරයි.

එහි සභාපති ආචාර්ය අශෝක රන්වල මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.

මේ අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සුත්‍රය අනාවරණය කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යංශයට අභියාචණයක් ගොනු කිරීමට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පසුගියදා කටයුතු කල අතර එම අමාත්‍යාංශයට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් නොමැති බවයි.

“මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී රටට කියනවා ලබන මාසයේ 10 වෙනිදා වෙනකොට ඉන්ධන මිල සූත්‍රයට අනුව තවත් ඉන්ධන මිල තවත් වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න කියලා. ඉස්සර කමින් සූන් කියලා චිත්‍රපටිවල කෑලි පෙන්නුවා වගේ දැන් ආණ්ඩුව විසින් ජනතාවගේ බඩට ගහන බෝම්බ ප්‍රහාරත් කමින් සූන් දාලා, ට්‍රේලර්ස් දාලා මුලින් ජනතාවට දැනගන්න සලස්වනවා.”

“ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් අපට නම් සොයා ගන්නට බැහැ. ඒ නිසා අපි පෙට්‍රල් සහ ඩීසල් වලට මෙතරම් දැවැන්ත මිලක් ගෙවිය යුත්තේ ඇයි කියන එක දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. අන්න ඒ නිසා අපි මුදල් අමාත්‍යංශයෙන් මේ අරුම පුදුම අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම යොමුකර තිබුණා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත. තොරතුරු නිලධාරියා අපට දැනුම් දෙනවා පනතේ 5(1) (ඇ) (iv) උප වගන්තිය යටතේ මෙම තොරතුරු ලබා දුනහොත් ජාතික ආර්ථිකයට බලවත් අගතියක් සිදු විය හැකි නිසා එය ලබාදිය නොහැකි බව.”

“එමෙන්ම ඔහු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්තිරරාජා මහතා ව අභියාචනා සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා ලෙස පත් කර තියෙනවා. ඒ අනුව අද අපි ඇවිල්ල විමලේන්තිරරාජා මහතාව හමු වෙලා එතුමන්ට පැහැදිලි කළා පනතේ මේ උපුටා දක්වා ඇති වගන්තියෙන් කියන්නේ, ආර්ථික හෝ මූල්‍ය ප්‍රතිපත්තියක් කලින් හෙළි කිරීම ආර්ථිකයට බරපතළ අගතියක් විය හැකි නම් එය හෙළි නොකර සිටීමට ආණ්ඩුවට ඇති අයිතිය ගැන බව. නමුත් අප ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්තියක් නොවෙයි. උදාහරණයක් විදිහට ගතහොත් හිතුණ හිතුණ විදිහට ඉන්ධන මිල වෙනස් කරනවා වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වා දීම ආර්ථික ප්‍රතිපත්තියක්. මුල්‍ය ප්‍රතිපත්තියක්. නමුත් ඒ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව අනුව මාස්පතා ඉන්ධන මිල ගණනය කිරීම ප්‍රතිපත්තිමය තීන්දුවක් නොවේ. අනික් පැත්තෙන් රටේ ජනතාවට ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීමෙන් රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු වෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපට මේ මිල සූත්‍රය දැන ගැනීමට අයිතියක් ඇති බවත් එය ලබා නොදීම සඳහා මේ දක්වා ඇති වගන්ති කිසිසේත් මිල සූත්‍රයට අදාළ නොවන බවත් එබැවින් මිල සූත්‍රය සඟවාගෙන සිටීම නීති විරෝධී කටයුත්තක් බවත් අපි අද විමලේන්තිරරාජා මහතාට දැනුම් දුන්නා.”

1 COMMENT

Comments are closed.