ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබඳතා නව මානයකට

0

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කර තිබේ.

05 වන දා පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ දී වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස ටෲන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගන්නා ලදුව, සභා ගර්භය වෙත කැඳවා ගෙන යන ලදී.සභා ගර්භයේ දී එරට මන්ත්‍රණ සභා ඉතිහාසය හා සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් ටෲන් කරුණු පැහැදිලි කළා ය. උත්තරීතර මන්ත්‍රණ සභා සභාපතිනියගේ නිල කුට්යේ දී සාකච්ඡා ඇරඹුණේ ඉන් පසුවය.

ශ්‍රී ලංකා දේශපාලනයට වැඩි කාන්තා සහභාගීත්වයක් ලබා දීම සඳහා නව නීති රීති පැනවීම සම්බන්ධයෙන් සභාපතිනිය ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ටෲන් මහත්මිය කරුණු විමසුවාය. ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරලීම උදෙසා රජයේ වැඩ පිළිවෙල පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පාසැල හැර යාමට සිදුවන සිසු සිසුවියන් සියල්ලටම නව අනාගත අපේක්‍ෂාවන් ඇති කර ගැනීමේ මාවතක් විවිර වන බව පෙන්වා දුන්නේය.

2015 වසරේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු, පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම උදෙසා ගත් ක්‍රියාමාර්ගයන් ද වික්‍රමසිංහ පැහැදිලි කළේ ය.

මේ අතර ලෝකයේ නව ප්‍රවණතාවන් හා සැසඳෙන පරිදි, ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබඳතා නව මානයකට ගෙන ඒමේ වැදගත්කම ද්විපාර්ශවීය නායකයෝ අවධාරණය කළහ.05 වන දා දහවල් නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේ පැවති සාකච්ඡාවේ දී දේශපාලනික, පාරිසරික හා ආර්ථික වශයෙන් සාගර හා සාගර සම්පත් කළමණාකරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

සාගරය මුළු මහත් ලෝකයාගේ ම උරුමයක් බැවින්, සාගරය ආරක්‍ෂා කරලීමේ හා සාගර සාමය සුරැකීමේ පොදු ජගත් වැඩපිළිවෙලක් සැකසීමේ කාලීන අවශ්‍යතාව සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සාගර සම්පත් සුරැකීම හා වර්ධනය කරලීම සඳහා යොදා ගත හැකි තාක්‍ෂණික ක්‍රමවේදයන් හා නව දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සූදානම් බව මෙහිදී නෝර්වේ අගමැතිනිය සඳහන් කළාය.
සාගරය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හා අගයයන් ද දෙරටට ම පොදු බව මෙහිදී අවධාරණය කෙරිණි.

ලොව පුරා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා දෙරට ම බහුපාර්ශික ගිවිසුම් හා එකඟතා ගණනාවකට එළැඹි ඇති බව ද, ඒවා ආරක්‍ෂා කරලීම උදෙසා දෙරට ම කැපවන බව ද ප්‍රකාශ කෙරිණි.කලාපීය හා ලෝක දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි.ආක්ටික් සාගර කලාපය සාමකාමී, නවෝත්පාදන හා තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කිරීමේ නෝර්වේ අභිලාෂය සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහය ලබා දෙන බවට වික්‍රමසිංහ මහතා මෙහිදී සහතික විය.

ඉන්දීය සාගර කලාපය සාමකාමී හා තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කරලීමේ ශ්‍රී ලංකා ප්‍රයත්නයට ද ඒ අයුරින් ම සහය ලබා දෙන බව සොල්බර්ග් මහත්මිය පැවසුවාය.