මම නම් හොරකම් කරන්නේ නෑ…….!

0

අහිංසක වතු කම්කරු ජනතාවගේ ඡන්දයෙන් පත්වූ තමන් කවදාවත් සොරකම් කරන්නේ නොමැති බවත්, තමාගේ අම්මා හෝ තාත්තා සොරකම් කරන්නේ නම් පළමුවෙන්ම ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන්නේ තමන්ම බවත් කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළණි දිගම්බරන් පවසනවා.

නුවරඑළිය, කඳපොළ, කෝට්ලේජ් තේ වතුයායේ ඉදිකරන ලද නව වතු නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (07) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දිනක අල්ලස් අරගෙන මාට්ටු වුණා. එතුමා කව්ද කියලා අපි සොයා බලන විට ඒ සෙන්දිල් තොණඩමන්ගේ තාත්තා බව දැන ගත්තා. ආරුමුගන් තොණ්ඩමන්ගේ මස්සිනා. තොණ්ඩමන්ලාගේ වැඩ එහෙමයි. දිවංගත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාවට විශාල සේවයක් කළා . අපි ඒක නෑ කියන්නේ නෑ. එතුමා හරිම හොඳ මනුස්සයෙක්. නමුත් අද තව පිරිසක් එතුමාගේ නම විකුණලා ඇවිත් හොරකම් කරලා රිමාණ්ඩ් එකේ ඉන්නවා. එතුමා අද ජීවතුන් අතර සිටියානම් පපුව පැලිලා මැරෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වා ඒ තනතුරු දෙනකොට දෙන්න එපා කියලා. ඒ වගේම අදාල ඇමතිවරයාටත් අපි කිව්වා මෙයා හොරෙක් දෙන්න එපා කියලා. ඒ ඇමතිවරයා කීවා මම නොවෙයි දුන්නේ ජනාධිපතිවරයා කියලා. අපි බය නැතිව කියනවා මේ හොරකම කවුරු කළත් වැරදියි කියලා. මේවාට උපරිමයෙන් දඩුවම් දෙන්න ඕන. අපි වතුකරයේ ජනතාවගේ ඉල්ලා සිටිනවා මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න එපා කියලා.”

මස්කෙලිය ගාමිණි බණ්ඩාර ඉලංගතිලක