හොරු රැළ එක්ක භාරකාර ආණ්ඩු හදලා නරින්ට කුකුල්ලු බාර දෙන්න පුළුවන්ද?

0

මොළයක් තියෙන කිසිම කෙනකුට මේ හොරු රංචුවත් එක්ක භාරකාර ආණ්ඩු හැදිය නොහැකි බව අමාත්‍ය කබිර් හෂීම පවසනවා.

පසුගියදා ලබුදුව නරාවල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු භාරකාර ආණ්ඩුව ගැන මාධ්‍ය කළ විමසීමකදි පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙද්දී ඒ සඳහා ඔරොත්තු දෙමින් ඉදිරියට යන අවස්ථාවක් මේ. එවන් අවස්ථාවක මොළයක් තියෙන අයකුට අර හොරු රංචුවත් එක්ක භාරකාර ආණ්ඩු හදන්න බැහැ. ෂැංග්‍රිලා හෝටල් බිම සින්නක්කරව දුන්නු, අපේ හමුදා මූලස්ථානය චීන හෝටලයකට විකුණපු අය මේ භාරකාර ආණ්ඩුවේ කොටස්කාරයෝ කරන්න කියනවාද? මේක හරියට කුකුළු කූඩුව ඇතුළෙ නරියො ටික දාගන්නවා වගේ වැඩක්.”

“වසර 20ක් ආණ්ඩු කළ කණ්ඩායම, පාර්ලිමේන්තුව තුළ හැම ඇමැතිකමක්ම පාහේ දරපු කාලයේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්නවලට නියෝජනයක් ලබා දුන්නේ නැහැ. තමන් නියෝජනය කරන කොන්ත්‍රාත් හා ජාවාරම්කරුවන් තමන් නියෝජනය කරන පන්ති විතරක් නියෝජනය කරමින් මේ රට කාබාසිනියා කළා.”

“ඒ කාලයේ ජිනීවා නගරයට ගිහින් එල්.එල්.ආර්.සී. වාර්තාවට එකඟ වෙලා. දරුස්මාන් වර්තාවට එකඟ වෙලා මේ රට අමාරුවේ දැම්මා. ඒ කාලපරිච්ඡේදය තුළ ලොකු මන්දිර හදන අයට බදු ඉවත් කරලා පුංචි මිනිසුන්ගේ ගෙවල් හදන ඒවාට බදු අය කළා.”

“පිටරටින් ගෙන්වනු ලැබූ බලු කෑමවලට තීරු බදු අයින් කළා. ඒ වගේ ප්‍රතිපත්ති තමයි මේ අය අනුගමනය කළේ. මේ රටේ ඉඩම් චීන රජයට සින්නක්කරව ලියා දුන්නා. අපේ හමුදා මූලස්ථානය චීන හෝටලයකට විකුණපු අය මේ භාරකාර ආණ්ඩුවේ කොටස්කාරයන් කරන්න කියලා කියනවාද?” අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

Kabir Hashim