රට විකුණන්න බලා ඉන්න මෛත්‍රි-රනිල් හවුලට තවත් ඉන්න දෙන්න බෑ!

0

රටේ ඩොලර් උල්පත් පිටරටට විකිණීමට එරෙහිව ඉදිරියේදි ජාතික මධ්‍යස්ථානයක් නිර්මාණය කරන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක සඳහන් කරනවා.

ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“මෛතී‍්‍ර-රනිල් පාලනය විසින් අපේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ ප‍්‍රතිපත්තියක ඉන්නවා. ඒ අනුව යමින් ජාතියේ ධන නිධානයක් වූ ති‍්‍රකුණාමලය තෙල් ටැංකි විකුණා දැමීමේ සැලසුමක් මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. අපේ රටේ ජනතාවත් ජාතික සම්පත් කියලා විශ්වාස කරන්නේ අතීතයේ හදපු වැව්, ගල් කණු වගේ දේවල් පමණයි. නමුත් ඊට පසු කාලීනව අපේ රටේ ගොඩනැගූ ජාතික උරුමයන් පිළිබඳව ජනතාව තුළ අවධානයක්, හැඟීමක් නැහැ. තී‍්‍රකුණාමලයට යන ජනතාව සේරුවාවිල වඳිනවා. මුවෝ බලනවා, කෝනේෂ්වරම් යනවා, නමුත් ඊට මඳක් එහායින් තිබෙන දැවැන්ත සම්පතක් වුණු තෙල් ටැංකි දිහා බලන්නේ නැහැ. දරුවන්ට පෙන්වන්නේ නැහැ. ඒවා ජාතික සම්පත් ලෙස ඔවුන් හිතන්නේ නැහැ.”

“ති‍්‍රකුණාමලය තෙල් ටැංකි එක්දාස් නමසිය විසි ගණන්වල බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඉදිකොට තිබෙනවා. ඒ මොහොතේ තෙල් ටැංකි 102ක් ඉදිකොට තිබෙන බව පැවසෙනවා. එම භූමි ප‍්‍රමාණය අක්කර 750ක් පමණ වෙනවා. එක් තෙල් ටැංකියක තෙල් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. ඒ වගේම එම තෙල් ටැංකි අවුරුදු 100කට වඩා කල් පවතින ලෙස ලෝහවලින් තනා තිබෙනවා. එම තෙල් ටැංකි පද්ධතියේ තෙල් මෙ.ටොන් ලක්‍ෂ 10ක් ගබඩා කළ හැකියි. තෙල් ටැංකිවලට අමතරව තෙල් බාන ජැටි, නළ මාර්ග සහිත පහසුකම් සහිත තෙල් ටැංකි පද්ධතියක්. ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එම තෙල් ටැංකි පද්ධතිය ලංකාවට පවරා දුන්නේ නැහැ. එම තෙල් ටැංකි ලබාගැනීම වෙනුවෙන් තෙල් සංස්ථාව අරගලයක් කළා. පසුව බි‍්‍රතාන්‍ය පවුම් දෙලක්‍ෂ පනස්දාහක් ගෙවීමේ පදනම යටතේ එම තෙල් ටැංකි ලංකාවට පවරා දීමට එකඟ වුණා. ඒ අනුව ආණ්ඩුව වෙනුවෙන් එම මුදල වාරික තුනක් යටතේ 1964 වනවිට ගෙවා දැමුවේ ඛනිජ තෙල් සංස්ථාවයි. පසුව එම ඉඩම තෙල් සංස්ථාවට පවරා ගන්නත් විශාල අරගලයක් දියත් වුණා.”

“මුල් කාලයේදී ති‍්‍රකුණාමලය මධ්‍යස්ථානය කරගනිමින් පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු අවට ප‍්‍රදේශවලට දුම්රිය මගින් තෙල් බෙදාහැරීම් සිදුකළා. එමගින් විශාල ප‍්‍රවාහන වියදමක් අඩුකර ගැනීමට සංස්ථාවට හැකිවුණා. තෙල් ටැංකි 102ක් ලෙස නම් කොට තිබුණත් සියවැනි අංකයට අදාළ තෙල් ටැංකියක් තිබුණේ නැහැ. ඒ, බි‍්‍රතාන්‍ය ජාතිකයින් 100 අසුභ ඉලක්කමක් ලෙස සැලකූ නිසයි. කෙසේ වෙතත් පැවති තෙල් ටැංකි 101න් ජපන් බෝම්බ නිසා එක් ටැංකියකුත් සිවිල් ගුවන් අනතුරකින් තවත් තෙල් ටැංකියකුත් විනාශ වීමෙන් පසුව ඉතිරි වූයේ තෙල් ටැංකි 99යි. ඉන්පසු 1987 පමණ ඇමරිකා එක්සත් ජනපදය එම තෙල් ටැංකි සංකීර්ණය ලබාගැනීමට උත්සාහ කළා. නමුත් ඉන්දියානු බලපෑම නිසා ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේදී තෙල් ටැංකි සම්බන්ධයෙන්ද කොන්දේසි ඇතුළත් කොට තිබුණා. එදා ජේ.ආර්.ජයවර්ධන මහතා විධායක බලතල පාවිච්චි කරලා ලංකාවේ ඩොලර් උල්පතක් වුණු තෙල් ටැංකි ඉන්දියාවට පවරලා දුන්නා. කෙසේ වෙතත් ඉන්පසු යුද්ධය සමයේදී යුද හමුදාව විසින් මෙම තෙල් ටැංකි ආරක්‍ෂා කරගත්තා.”

“නව පරිච්ෙඡ්දයට අනුව 2003 පෙබරවාරි මාසයේදී රනිල් වික‍්‍රමසිංහ එවකට ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ වැඩපිළිවෙළ යටතේ එම තෙල් ටැංකි 99 ඉන්දියාවට පවරලා දුන්නා. නීති විරෝධී ගිවිසුමක් අත්සන් කරලා මේ මොහොතේ තෙල් ටැංකි 99 ඉන්දියාවට ලබා දුන්නේ අවුරුද්දක් සඳහා එක් ටැංකියකට ඩොලර් 1,000ක් අයකර ගැනීම යටතෙයි. ඊට අමතරව සේවා ගාස්තු ලෙස තවත් ඩොලර් 1,000ක් අයකර ගැනීමට නියමිතව තිබුණා. මේ සියලූ පහසුකම් සහිත මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු එල්.අයි. ඕ.සී. සමාගමට විකුණා දැම්මා. මාස 06ක් ඇතුළත බදු ගිවිසුම අත්සන් කළ යුතුව තිබුණත් අද වනතුරු එම ගිවිසුම අත්සන් කොට නැහැ. මේ වනවිට එම තෙල් ටැංකි 99න් ඉන්දියාව භාවිත කරන්නේ තෙල් ටැංකි 14ක් පමණයි. කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් නැතිව ඔවුන් තෙල් ටැංකි පාවිච්චි කරනවා. එක් අවස්ථාවකදී ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පිරිසක් මෙම තෙල් ටැංකි සංකීර්ණය නිරීක්‍ෂණයට ගිය මොහොතක ඉන්දියානු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. බදු ගිිවිසුමක්වත් නැතිව ඉන්දියාව විශාල ආදායමක් මෙම තෙල් ටැංකිවලින් ගන්නවා. වසරකට මෙම තෙල් ටැංකියක් සඳහා ඩොලර් 1,000ක් අයකළත් එක් ටැංකියකින් ලබන ආදායම වරුවකට ඩොලර් 1,000කටත් වඩා වැඩියි. ඉන්දියානු සමාගම තෙල් ව්‍යාපාරය කරගෙන ගියේ තෙල් ටැංකි 14නුත් තෙල් ටැංකි 08ක් පාවිච්චි කරලයි. ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඉන්දියාවට තිබුණේ වාණිජ්‍ය අරමුණක් නොවෙයි. දේශපාලන අරමුණක්. මෙම තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විතයි. පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14ක් සහ ඉහළ සංකීර්ණයේ තෙල් ටැංකි 85ක් තිබෙනවා. ඉන් ඉන්දියාව භාවිත කරන්නේ පහළ සංකීර්ණයේ තෙල් ටැංකි 14යි.”

“දැන් ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබා දීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. එය ඉන්දියාවේ ඉල්ලීමක් නොවෙයි. ඉන්දියාවට අවශ්‍ය වන්නේ එම තෙල් ටැංකි වෙනත් රටකට ලබා නොදෙනවා කියන තහවුරුවයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ප‍්‍රතිපත්තිය මත මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්න යනවා. ලංකාවට ආරක්‍ෂිත තෙල් තොග තබා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් අද තෙල් ගබඩා කරන මුතුරාජවෙල, කොලොන්නාව, සපුගස්කන්ද කියන ගබඩාවල තෙල් තොග තබාගත හැක්කේ සති දෙකකට පමණයි. අපිට තිබුණු හම්බන්තොට තෙල් ටැංකි මේ වනවිට චීනයට දීලා ඉවරයි. එම නිසා තෙල් හිඟයක් නිසා ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි. අඩුම තරමේ මසකට හෝ තෙල් තොග තබා ගැනීමට ගබඩා අවශ්‍යයි. එවැනි ආරක්‍ෂිත තෙල් තොග තබාගැනීමට ඉතාම සුදුසු ති‍්‍රකුණාමලය තෙල් ටැංකියි. රටට එවැනි ජාතික අවශ්‍යතාවයක් තිබියදී ආණ්ඩුව එම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්නේ ඇයි? ආරක්‍ෂිත තෙල් තොග තබාගැනීම වෙනුවෙන් වෙනත් තෙල් ටැංකි පද්ධතියක් ඩොලර් මිලියන 150ක වියදමින් ඉදිකිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා. එවැනි තත්වයක් තුළ තමයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සහ හම්බන්තොට තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට ලබාගන්න අරගලයක් ආරම්භ කළේ. එම තෙල් ටැංකි සංස්ථාවට ලැබෙනවා නම් තෙල් සංස්ථාවේ තිබෙන ණය අර්බුදයත් රටේ ණය අර්බුදයටත් ඩොලර් අර්බුදයටත් විසඳුමක් සොයාගත හැකියි. මොකද එම තෙල් ටැංකි ඩොලර් උපයන ධන නිධානයක් බවට පත්කර ගත හැකියි.”

“2016 කෝප් කමිටුවේදී නිර්දේශයක් ලබා දුන්නා, ති‍්‍රකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පරීක්‍ෂණයක් කරන්න කියලා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ජාත්‍යන්තර පලපුරුද්ද සහිත ඉංජිනේරුවන් පිරිසක් සතියකට ආසන්න කාලයක් ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් කළා. ඉහළ පර්යන්තයේ ටැංකි 16ක් විශේෂ පරීක්‍ෂණයකින් හඳුනා ගත්තා. එමෙන්ම එම තෙල් ටැංකි 85 පද්ධතියක් ලෙස උපයෝගී කරගත හැකි බවට ඉංජිනේරු කණ්ඩායම හඳුනා ගත්තා. ඒ වගේම එහි නළ පද්ධතිය අලූත්වැඩියා කළ යුතු බවත් ඔවුන් හඳුනා ගත්තා. මෙම තෙල් ටැංකි 16 හඳුනා ගැනීමෙන් පසුව ඉන් තෙල් ටැංකි 03ක් ප‍්‍රීමා සමාමට වතුර ගබඩා කර ගැනීමටත් ගුවන් හමුදාවට වතුර ගබඩා කිරීමට එක් ටැංකියකුත් ලබාදී තිබෙනවා. ඉන් ඔප්පු වන කාරණය තමයි මෙම තෙල් ටැංකි ඉදිකොට වසර 75කට පමණ පසුත් ජලය ගබඩා කර ගැනීමට තරම් සුදුසු තත්වයේ තිබෙන බවයි. පසුව එම ඉංජිනේරු කණ්ඩායම ඩොලර් මිලියන 10ක වියදමකින් තෙල් ටැංකි 16ත් නළ පද්ධතියත් තෙල් බාන ජැටිත් ප‍්‍රතිසංස්කරණය කළ හැකි බවට වාර්තාවක් ලබා දුන්නා. එවකට වරාය හා ඛනිජ තෙල් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි 2016 අපේ‍්‍රල් 28වැනිදා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට තෙල් ටැංකි 16 සංස්ථාවට ලබා දෙන ලෙසත් එම වියදම සංස්ථාවෙන් දරන බවටත් යෝජනා කළා. උතුරු මැදට තෙල් බෙදා දීමේදී කොළඹ හරහා සිදුකරන තෙල් ප‍්‍රවාහනයේදී ප‍්‍රවාහන ගාස්තු ලෙස රු. මිලියන 1500ක් වැයවන අතර එය තෙල් ටැංකි අලූත්වැඩියාවට යන වියදමට සමාන වියදමක්. ඒ අනුව කැබිනට් සංදේශය අනුමත වුණා. නමුත් රනිල් වික‍්‍රමසිංහ 2016 ජූනි 05වැනිදා නැවත කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරනවා, එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට. ඒ විතරක් නෙවෙයි, ඉංජිනේරුවන් කණ්ඩායම රට වෙනුවෙන් හදපු වාර්තාවත් රනිල් වික‍්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාට ලබා දෙනවා.”

“පසුව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊට එරෙහිව වෘත්තීය කි‍්‍රයාමාර්ග ගත්තා. තෙල් ටැංකි විකුණනවා නම් හෝ බදු දෙනවා නම් වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කළ යුතු බවට එකඟතාවයකට ආවා. එවැනි තත්වයක් තිබියදී තමයි ආණ්ඩුව හම්බන්තොට ජැටි දෙක සහ තෙල් ටැංකි 11 චීනයට ලබා දෙන්නේ. හම්බන්තොට වරාය ඉදි කළේම නැව්වලට සේවා සැපයීම සඳහායි. ඒ වෙනුවෙන් තමයි තෙල් ටැංකි ඉදිකළේ. වරාය චීන සමාගමට විකුණන්න යන අවස්ථාවේදී තෙල් සංස්ථාවේ සේවකයෝ දින 03ක වැඩ වර්ජනයක් කළා. ඉන්ධන නැතිව මුළු රටම නතර වුණා. ආණ්ඩුව හදිසි නීතිය පනවලා තමයි වැඩ වර්ජනය මර්දනය කළේ. අගමැතිට කියන්න සිද්ධ වුණා, වරාය විකුණන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී තමයි අපේ වෘත්තීය සමිතියේ අශෝක රංවල සහෝදරයා අත්අඩංගුවට ගත්තේ. ජාතික සම්පත් ආරක්‍ෂා කරන්න ගිහිල්ලා පොලීසියේ අත්අඩංගුවට පවා පත්වෙන්න සිදුවුණා.”

“නමුත් අද වනවිට රට වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ජාතික ඇඳුම අඳින අර්ජුන රණතුංග ඇමතිවරයා රට පාවා දෙමින් තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට 2018 ජූලි මාසයේ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරනවා. එම යෝජනාව කැබිනට් එකෙන් අනුමත කර තිබෙනවා. අද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ 1987 ඉංදු ලංකා ගිවිසුමේ පාවාදීමේ ක‍්‍රියාවලියම තමයි. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි 99ම වසර 50 සිට 99 දක්වා බදු දෙන්න තීරණය කොට තිබෙනවා. බදු ගිවිසුමක් නැතිව තෙල් ටැංකි 14ක් පාවිච්චි කරන ඉන්දියානු අයි. ඕ.සී. සමාගම නැව්වලට පවා තෙල් අලෙවි කරනවා. එමගින් ඉන්දියානු සමාගම අතිවිශාල ලාභයක් ලබනවා. ඊට අමතරව මුහුදට තෙල් ප‍්‍රවාහනය කොට නැව්වලට තෙල් සපයනවා. එමගින් විශාල ඩොලර් ආදායමක් ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් ගබඩාවෙන් අත්හදාබැලීමක් ලෙස තෙල් ටොන් 3,000ක් අලෙවි කරලා රු. මිලියන 1,000කට වැඩි ආදායමක් ලබා තිබෙනවා. හම්බන්තොට තෙල් ටැංකිවලින් (චීනයට විකිණීමට පෙර) 2014 ජනවාරි සිට සැප්තැම්බර් මස 08වැනිදා දක්වා තෙල් ටොන් 69,000ක් අලෙවි කරලා රු. බිලියන 04ක විදේශීය විනිමයක් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට අතිවිශාල ඩොලර් ආදායමක් ලබාගන්න පුළුවන් ඩොලර් උල්පතක් විකුණා දැමීමටයි ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ. මේ කි‍්‍රයාවලිය නතර කළ යුතුව තිබෙනවා. 2016 අපේ‍්‍රල් 28 කැබිනට් අනුමැතියට අනුව තෙල් ටැංකි තෙල් සංස්ථාවට ලබා දී තිබිය යුතුව තිබියදී රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව හම්බන්තොට තෙල් ටැංකි චීනෙට විකුණලා දානවා. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට කජු ප‍්‍රශ්නය විතරද පේන්නේ? අලි දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ ප‍්‍රශ්නය විතරද පේන්නේ? මෙවැනි වැදගත් දේවල් පේන්නේ නැද්ද? එම නිසා මෙම ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට එරෙහිව විනයගරුක සටන්කාමී දැවැන්ත ජනතා විරෝධයක් 23වැනිදා අපි කොළඹදී සංවිධානය කරනවා. එම ජනතා විරෝධයේ ප‍්‍රධාන සටන්පාඨයක් වන්නේ තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙසයි. ඊට අමතරව අපේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික මධ්‍යස්ථානයක් හදනවා.”

Bimal Rathnayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here