නිදහස් අධ්‍යාපනය වල පල්ලට….සල්ලි දීලායි ඉස්කෝලේ යන්න වෙන්නේ

0

පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මව්පියන්ගේ කරමත පැටවීමේ සැලැස්මක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් පසුගිය 10 වැනිදා බත්තරමුල්ල, පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධ විශේෂ අනාවරණයක් කරමින් ඒ බව පවසා සිටියා.

ඔහු එසේ කරුණු අනාවරණය කරමින් පළ කළ අදහස් මෙසේය.

“අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නව චක්‍රලේකයක් හදුන්වා දී තිබෙනවා. මෙම චක්‍රලේඛය මගින් මින් පෙර පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ සියලු චක්‍රලේඛ අවලංගු කරමින් පාසලට අවශ්‍ය වියදම් සපයාගැනීම හා පාසලේ අවශ්‍යතා සපුරාගැනීම ක්‍රියාවලිය සදහා මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන බලධාරින් කටයුතු කරමින් සිටිනවා.”

“ලංකාවේ පාසල් අධ්‍යාපනය පහුගිය කාලයේ විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. ආණ්ඩු විසින් වරින්වර පාසල්පාදක ඇගයීම්, පාසල් පාදක සංවර්ධන කමිටු සහ පාසල් සංවර්ධන සමිති ආදි වහයෙන් විවිධ ක්‍රම යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මේ විවිධ ආකාරයෙන් 1980 දසකයේ සිට ආණ්ඩු ගනනාවක් උත්සාහ කළා, පාසල් අධ්‍යාපනයේ වියදම් මවුපියන් මත පටවන්න. මේ සදහා මුලින්ම ගුරු දෙගුරු සමිත් කියන ක්‍රමය ආවා. 1993දි පාසල් සංවර්ධන මණ්ඩල ආවා, ඉන්පස්සෙ පාසල් සංවර්ධන කමිටු ආවා. නමුත් මේ සැලස්ම් හරහා පාසල් අධ්‍යාපනය මව්පියන් මත පැටවීම සම්බන්දයෙන් සමාජයේ විශාල විරෝධයක් ආවා. ඒ නිසා ආණ්ඩුවට මේ ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් පාසල්වල මේ ගාස්තු අයකිරීම අඩුවැඩි වහයෙන් ක්‍රියාත්මක වෙනවා. මේවා දැනට ක්‍රියාත්මක වෙන්නෙ එක් එක් පාසල්වල විදුහල්පතිවරුන්ගෙ මැදිහත්වීමෙන් අර්ධ වශයෙන් නිතිමය ආවරණ සහිතව. ආණ්ඩුවට අවශ්‍ය වෙනවා මේ ක්‍රියාවලිය විධිමත් නීතියක් ලෙස ගෙනත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් මව්පියන්ගෙ කරමත පටවන්න. ඒ සදහා අවශ්‍ය චක්‍රලේඛය තමයි මේ ආකාරයට පාසල් අධ්‍යාපනය වෙත ගෙනල්ලා ලබන අවුරුද්දෙ ජනවාරියේ සිට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නෙ.”

“මේ ආණ්ඩුව බලයට පත්වී මුලින්ම අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ 2015/6 චක්‍රලේඛය විසින් පාසල්වල මුදල් අය කිරීම ක්‍රියාත්මක කළා. මේ අලුත් චක්‍රලේඛය 2018_26 තුළින් පාසල් අධ්‍යාපනයේ සමස්ත බර මව්පියන්ගෙ කරමත පටවන සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නෙ. මේක බරපතළ තත්වයක් නිසා මේ කරුනු ජනතාවගේ අවධානයට යොමුකරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ නව චක්‍රලේඛය 2018 ජූනි 22 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. පාසල් පාදක ගුණාත්මක, ප්‍රමානාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සදහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබද චක්‍රලේඛය හා ඒ සමග මාර්ගෝපදේහ අත්පොතක් නිකුත්කර තිබෙනවා. මින් පෙර මේ විෂය සම්බන්ධව නිකුත් කළ 2013/07 සහ 2015/05 යන චක්‍රලේඛ මේ මගින් අහෝසි වන බවත් මෙහි මුලින්ම සදහන් කර තිබෙනවා.”

“මේ චක්‍රලේඛයේ හරිම ලස්සන වචනවලින් කියන කරුණු හරහා පාසල් අධ්‍යාපනයට කරන්න යන වෙනස්කම් ඉතාම විනාශකාරී වනවා වගේම ඒවා පාසල්දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට බරපතළ ප්‍රකිවිපාකවලට මුහුණ දෙන තත්වයක් බව අපි අවධාරනය කරනවා. මේ සදහා ආණඩ්ුව පාසල් කේන්ද්‍ර කරගත් පාසල් සංවර්ධන සමිති පිහිටුවාගෙන ඒ හරහා ගොඩනගන ව්‍යුහ පිළිබද මේ චක්‍රලේඛය තුලින් නියම කර තිබෙනවා. මේ ව්‍යුහයන් මොනවාද කියන එක වැදගත්. පාසල් විධායක කමිටුව, පාසල් ප්‍රසම්පාදන කමිටු, පාසල් කළමනාකරන සැලසුම් කමිටුව, වෙනත් කලමනාකරණ කමිටු, ගිනුම් පරික්ෂන කමිටු ආදි වශයෙන් ව්‍යුහ ගණනාවක් තිබෙනවා. පාසලක්, අධ්‍යාපන ආයනයක් කියන පදනමෙන් නෙවෙයි මේ සියල්ල යෝජනා කරන්නෙ, පාසල ව්‍යාපාරයක්, සමාගමක් කියලා හිතුවොත් මේ යෝජනා කරන සේරම හරි. මේ ඇතිකරන ව්‍යුහවලින් භාණ්ඩ මිලදී ගන්න, ටෙන්ඩර් කැදවන්න, මුදල් උපයාගන්න, මුදල් වැයකරන්න මේ වගේ වෙන කොට මේ පාසලක කතාව නෙවෙයි, වෙළද ව්‍යාපාරයක් ලෙස සලකන්න පුලුවන්. දැනටමත් පාසල්වල මේ ක්‍රියාදාමය යම් අාකාරයකට ක්‍රියාම්තක වෙනවා. නමුත් මේ චක්‍රලේඛය හරහා මේ පාසල්වල ව්‍යාපාරික ක්‍රියාදාමයක් ස්ථාපිත කරන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ එයින් පස්සෙ ආණ්ඩුව විසින් ප්‍රතිපාදන වෙන් නොකර පාසල් පවත්වාගෙන යාම මව්පියන් කරපිට පටවන්න හැකි නිසා. පාසලක් බිස්නස් එකක් බවට පත්කරන්නෙ කොහොමද කියලා කල්පනා කරලා අධ්‍යාපන අමාත්‍යංශය මේ චක්‍රලේඛය නිකුත්කර තිබෙනවා.”

“ඒ නිසා මේ පාසල්වල නමට ඉදිරියෙන් ‘ප්‍රයිවෙට් ලිමිටඩ්’ කියලා දැම්මොත් අපි පිදුමයට පත් වෙන්නෙ නෑ. මේකෙ පාසල් ශක්තිමත් කරන බව කියමින් ගිනුම්කරණය, විගණනය සහ මිලදී ගැනිම් ක්‍රියාවලිය යන මේ ඔක්කොම පාසලට භාර දෙන්න යන්නෙ. කලින් නම් මේ වෙනුවෙන් කටයුතු කළේ අධ්‍යාපන කාර්යාල. මිලදී ගැනීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවුණේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් සැපයුම් කලේ කලාප අධයාපන කාර්යාල හරහා. මේ මිලදී ගැනීම් සියල්ල පාසල්වලට භාර දුන්නම මේ ගනුදෙනු සියල්ල විගණනය කරන්න වෙනම විගණන දෙපාර්තමේන්තුවක්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා වංචා දූෂණ වැළැක්වීමේ අර්ථයෙන් ගත්තත් මේක ඉතා දුර්වල පියවරක්. නමුත් ලබන අවුරුද්දෙ ඉදලා පාසලේ සියලු වියදම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ මව්පියන්ට පැවරෙනවා. මේකෙ සදහන් වෙනවා පාසලට මුදල් ලැබෙන වෙනත් ප්‍රභවයන් එස් 7 අනු අංකය යටතෙ තියෙනවා පාසලේ ඉඩම්, ගොඩනැගිලි සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ගාස්තු වශයෙන් සදහන් වෙනවා. දැන් මේ කියන්නෙ පාසලේ ඉඩම්, ගොඩනැගිලි වගේ සම්පත් කුලියට දීලා පාසලට අරමුදල් හොයාගන්න කියලා මේ කියන්නෙ. දැන් මේ පාසල් සංවර්ධන සමිතියට ඇතුලුවීමේ ගාස්තු අය කිරිමක් තියෙනවා. ඒ මුදල රුපියල් 100 සිට 600 දක්වා මුදලක් තෝරාගන්න පුලුවන් කියලා තියෙනවා. ඒ නිසා මේක මුදල් එකතු කිරිමෙන්ම පටන් ගන්නා ක්‍රියාදාමයක්. ඊළගට පාසලේ විවිධ ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති හරහා මුදල් උපයාගැනීමට සිදුවෙනවා. පාසලේ විනෝද චාරිකාවල සිට වියදම් අවශ්‍ය කටයුතු සියල්ලටම මුදල් සෙවීමේ ව්‍යාපාති කරන්න පාසලේ දරුවන්, මව්පියන්, ගුරුවරු වෙත බරක් පැවරෙනවා. දැනටත් ගුරුවරු මැසිවිලි නගනවා, අනවශ්‍ය කාර්යයන් ගොඩක්, කොළ පිරවිලි ඔව්නුට පැවරී තිබෙනවා. පාසල් කාලයෙත් ඉන්පස්සෙ පාසල් කාලය ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් ගුරුවරුන්ට කොළ පිරවිම් තිබෙනවා. අධ්‍යාපන ක්‍රියාවලියට අමතරව මේ කාර්යයන් ගුරු වාත්තියට බාධාවක් බව ගුරුවරු කියනවා.”

“මේකෙ අනෙක් වැදගත් කාරණය තමයි, අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් චක්‍රලේඛ මගින් නියමකර නැති අවස්ථාවලදී පාසල් සංවර්ධන විධායක කමිටුවල තින්දුව අනුව මුදල් එකතු කරන්න පුලුවන්කම ලැබෙනවා. ඒ නිසා මේකෙ පාලනයක් සීමාවක් නැතිව පාසල් විධායක කමිටුවේ තීරණය අනුව මුදල් අයකරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, පාසලේ අත්‍යවශ්‍ය වියදම්, විදුලි, දුරකථන, සනීපාරක්ෂක කටයුතු සදහා වියදම් වගේම ක්‍රිඩා පුහුණුකරුවන්ගෙ ගාස්තු, පාසලේ වෙනත් සේවකයන්ගෙ වැටුප් වගේ සියල්ල වසර ආරම්භයෙදි ඇස්තමේන්තු කරලා ඒ මුදලේ කොපමණ ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබෙයිද කියලා හිතලා ඉතිරි මුදල පාසලේ දරුවන් ගණනින් බෙදලා ඔවුන්ගෙන් අයකරගන්න මෙයින් නියම කර තිබෙනවා. ඒ මුදල උපයාගන්න පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ මව්පියන් මත පටවන්න සිදු වෙනවා. අපි දන්නවා පාසල්වල ප්‍රතිපාදන වසරින් වරස කප්පාදු කරනවා කියලා. ඒ නිසා මේ චක්‍රලේඛයෙන් සිදුකරන්නෙ පාසල්වල නඩත්තුව මුලුමනින්ම පාසල් දරුවන්ගෙ මව්පියන් මත පටවන්න කටයුතු කිරිමයි.”

“අකිල විරාජ් මේ වැඩසටහන පටන් ගනිද්දිම අපි කිව්වා හැරෙන්නෙ පොල්පැලේට කියලා. නිදහස් අධ්‍යාපනය, කන්නංගර ප්‍රතිපත්ති අරවා මේවා කියාගෙන පටන් ගත්තට දැන් පාසල් අධ්‍යාපනයම ගෙනල්ලා තියෙන්නෙ මෙතැනට. වෙන මොකක්වත් නෙවෙයි, පාසල් අධ්‍යාපනයෙ සමස්ත වියදම මව්පියන්ගෙ කරමත පටවන්න කටයුතු කරනවා. පාසලකට වාර්ෂිකව ලක්ෂ 20ක් වැය වෙනවා නම් ආණ්ඩුව දෙන්නෙ ලක්ෂයක් නම්, ඉතිරි ලක්ෂ 19ම පාසල් දරුවන් ගනනින් බෙදලා ඔවුන් විසින් ඒ මුදල් ගෙවිය යුතු තත්වයක් ඇති වෙනවා. හැබැයි මේ ගෙවීම්වලට පාසලෙන් රිසිට් දෙනවා. ඒ නිසා කිසි ප්‍රහ්නයක් නෑ කියලා සමහරු කියනවා. නමුත් අපි අහනවා මොනවද මේ වියදම්? මේකෙ තියෙනවා, පුනරාවර්තන වියදම් ලැයිස්තුවක් තියෙනවා. විෂයමාලාව ක්‍රියාත්මක කිරිමට තියෙනවා පුනරාවර්තන වියදම්. විෂය සමගාමී ක්‍රියාවලිය, පාසලට අවශ්‍ය අධ්‍යාපන පරිපාලන සේවා, සුභසාධන කටයුතු මේ සේරම සදහා අවශ්‍ය වියදම් සපයාගන්න වෙනවා. ඒ කියන්නෙ පාසලට අවශ්‍ය නම් ප්ලැටිග්නම් එකක්, ඒක ගන්න වියදමත් පාසලෙන් උපයාගන්න වෙනවා. ආණ්ඩුව කියලා තියෙන විධියට ඒ කිසිදේකට ආණ්ඩුවෙන් මුදල් ලැබෙයිද නැද්ද කියන්න බෑ. ආණ්ඩුව කියන්නෙත් නෑ මෙන්න මේ දේවල්වලට අපි මුදල් මෙච්චර දෙනවා කියලා. නමුත් දැන් සමහරු හිතනවා, අනේ කමක් නෑ, කියලා. පන්සලට දෙන කොට වගේ කීයක් වුණත් දෙන්න සමහරුන්ට පුලුවන්. පාසල් අධ්‍යාපනයෙන් ආණ්ඩුව අයින් වෙන තත්වයෙදි අන්න ඒ තැනට අපි ඇවිත් තිබෙනවා. ඒක කමක් නෑ කියන අයට මේ චක්‍රලේඛය අනුව තේරුම්ගන්න වෙන්නෙ පාසලක ගුරුවැටුප් දෙනවා කියන එක විතරයි. ඊට අමතරව ආණ්ඩුවෙන් ගානක් මොකක් හරි දුන්නම, ඉතිරි වියදම පාසලෙන් උපයා ගන්න වෙනවා. ඒ අඩුපාඩු වියදම දරුවන්ගෙ ගානෙන් බෙදලා හැම දරුවෙකුගෙන්ම අයකරගන්න වෙනවා. මේ තත්වයට අමතරව පාසලේ අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍යවන ක්ෂයවන භාණ්ඩ, ඒ කියන්නෙ ගෑස් වගේ දේවල්, වසරකදී පමණ ඉවත දමන්න සිදුවන භාණ්ඩ, ඒ කියන්නෙ පරික්ෂණ නල, වීදුරු කදා, නිදර්ශක, සංයුක්ත තැටි, ඒ කියන්නෙ විද්‍යාගාර උපකරණ වගේ දේවල්, මේවා සපයාගන්නත් පාසලට සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බීජ, පැල, ලිපිද්‍රව්‍ය, භූමිතෙල්, පුවත්පත් යන මේ සියල්ලටම වියදම් පාසල විසින් උපයාගත යුතුයි. මේ සියල්ලටම වියදම මව්පියන් මත පැටවීම තමයි මේ සැලසුමේ අරමුණ. මේ අපේ රටේ අධ්‍යාපනය ඉතාම විනාශකාරී තැනකට ගෙනයන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නෙ. මේකෙ පසුබිම අපි පසුගිය අයවැයෙන් දැක්කා. 2017 වසර සදහා අයවැය ප්‍රතිපාදන වෙන්කරද්දි ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 53ක් වෙන්කර තිබුණා. 2018දි ඒක බිලියන 40 දක්වා අඩුවුණා. ඒ නිසා ප්‍රාග්ධන වියදම් වසරක් තුළ 25%කින් අඩු කරලා. එක පැත්තකින් මව්පියන්ගෙ කරමත පාසලේ වියදම පටවන්න චක්‍රලේඛ ගහනවා, අනෙක් පැත්තෙන් අධ්‍යාපනයට අදාළ අයවැය ප්‍රතිපාදන කපනවා.”

“2018 අධ්‍යාපනය සදහා රජයෙන් වෙන්කළ සමස්ත වියදම රුපියල් බිලියන 102.3යි. දැන් 2019 අවුරුද්දට වෙන්කළ වියදම පුවත්පත්වලට නිකුත්කළ සංඛ්‍යා තියෙන්නෙ බිලියන 105ක්. බැලුබැල්මට කාට හරි කියන්න පුලුවන් මේකෙ බිලියන 3ක් විතර වැඩි කරලා කියලා. නමුත් මේ වැඩිකළ මුදල එහෙමම ලැබෙනවද? පසුගිය අයවැයේ සිට මේ දක්වා රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා, 17%කින්. ඒ නිසා මේ මුදල ඇත්තටම ගත්තොත් වැඩිකරලා කියලා නාමිකව හිතුවත් ඇත්තටම ප්‍රතිපාදන අඩු කරලා තියෙන්නෙ. අධ්‍යාපනයට වෙන්කළ මුදල ඇත්තටම 14%කින් විතර අඩු කරලා තියෙන්නෙ. අර කාලයක් සටන් පාඨයක් තිබුනා කොළඹට කිරි ගමට කැකිරි කියලා. දැන් මේ විදියට කොළඹට කිරිත් නැති තත්වයක් එනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙ කරුණාසේන කොඩිතුවක්කු අධ්‍යාපන ඇමති වෙලා හිටිය කාලෙ කිව්වා මේ රටේ පාසල් දහස් ගනනක් තියෙනවා ශිෂ්‍යයෝ 100ට අඩු, ඒ සියල්ල වැඩක් නෑ වසාදැමිය යුතු බව කරුනාසෙන කොඩිතුවක්කු කිව්වා. ඒයාලා මේවා ගනන් හදන්නෙ පාසල් දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය පැත්තෙන් නෙවෙයි, යුනිට් කොස්ට් එක පැත්තෙන්. ඒකක පිරිවැය අනුව බලන්නෙ, මොකද කොම්පැනිකාරයොනෙ පාලක පන්තියෙ ඉන්නෙ. ඒ අය ගනන් හදන්නෙ කොච්චර පිරිවැයක් යනවද? ලාභය කොච්චරද? කියන තර්කණය අනුව. දැන් මේ නිසා තමයි කුඩා පාසල් වසා දමන්නෙ. මේ චක්‍රලේඛය අනුව සිදුවෙන්නෙ අන්න ඒ වගේ කුඩා පාසල් වැසී යාමයි. ප්‍රාදේශීය පාසල්වල මව්පියන්ට පාසල් නඩත්තු කරන්න, පාසලේ විධායක කමිටු වගේ ඒවට සහභාගි වෙන්න විදියක් නෑ. මේ රටේ සාමාන්‍ය ග්‍රාමීය පාසල්වල ඔය කියන විධායක කමිටුවලට, ප්‍රසම්පාදන කමිටුවලට එන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඒ පාසල් පවත්වාගෙන යන්න මව්පියන්ට වියදම් කරන්න බැරි වෙනවා. අන්තිමට පාසල නිකම්ම අකර්මණ්‍ය වෙලා වැසී යාම සිදු වෙනවා. හැබැයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙද්දි නාගරික පාසල්වලට මොකද වෙන්නෙ? ඒවට යන සාමාන්‍ය පන්තියෙ මව්පියන්ගෙ දරුවොත් ඉන්නවා. මේවා ගෙවන්න පුලුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා, අමාරුවෙන් ගෙවාගෙන එල්ලිලා යන අයත් ඉන්නවා. ඒ අයට මේ විදියට මුදල් ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න බැරි වෙනවා. ඒ නිසා එවැනි දරුවන් නාගරික පාසල්වලිනුත් හැලී යනවා.”

“ඒ අතරම පෞද්ගලික පාසල් පද්ධතියක් හතු පිපෙනවා වගේ වර්ධනය වෙමින් තියෙනවා. මුදල් ගෙවා ලබන පාසල් අධ්‍යාපනයක් මේ රටේ පවතිනවා. මේ අතර අපට වාර්තා වෙන තත්වයක් තිබෙනවා, මේ දක්වාම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබුණෙ රජයේ පාසල්වල අපේක්ෂකයන් වශයෙන්. පෞද්ගලික පාසල්වල උසස් පෙළ විභාගයට පෙනී සිටින්න අවස්ථාව ලැබුනෙ නෑ. පසුගිය කාලයෙ ක්‍රමානුකූලව කලා, වානිජ විෂය ධාරාවල පෞද්ගලික අපේක්ෂකයන්ට විභාගයට පෙනී සිටීමේ අවස්ථා ලබා දීලා තිබෙන බව අපට දැනගන්න ලැබුණා. මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශය පිළිතුරු දිය යුතුයි. පෞද්ගලික අපේක්ෂකයන් එක්ක අපට ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ. මේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය වෙනස්වීමේ දිශාව ගැන ප්‍රශ්නයක්. මේ විදියට පෞද්ගලික අධ්‍යාපනයට පාර කපමින් රජයේ පාසල්වලට ප්‍රතිපාදන කපමින් අධ්‍යාපනයට වියදම් කළ හැකි පන්තියේ වරප්‍රසාදයක් බවට පත්කිරිමයි ආණ්ඩුවේ අරමුණ. ඒ නිසා සාමන්‍ය ජනයාට, පහළ පන්තික ජනයාට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමේ ක්‍රියාදාමයට අපි මේ විරෝධය ගේන්නෙ. අධ්‍යාපනය අයිතියක්, ඒක මුදල් හැකියාව තිබුණත් නැතත් රජය විසින් ලබා දිය යුතු අයිතියක් කියන පදනමෙන් අපි මේ සම්බන්ධව ජනතාවගේ අවධානයට යොමු කරනවා.”

“රාජ්‍ය පාසල් පද්ධතිය හකුලවා දමමින් පෞද්ගලික පාසල්වල අතපය දිගහැරීමට සහ රජයේ පාසල්වල මුදල් අයකිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරමින් ආදායම් ඇති පිරිසකගේ ක්‍රියාවලියක් බවට අධ්‍යාපනය පත්කිරීමයි ආණ්ඩුව කරමින් ඉන්නෙ. මේ නිසා මෙම තත්වය සම්බන්ධව ජනතා විරෝධය දැක්විය යුතුයි. ලබන අවුරුද්දෙ මේ අලුත් වැඩපිලිවෙළ ක්‍රියාත්මක වෙනවා. 2019 ආරම්භයෙදි පාසල්වල අයකරන මුදල් ප්‍රමාන දැනගනිද්දි මේකෙ ඇත්ත තත්වය දැනගන්න ලැබෙයි. ලයිසන් ඇතිව මුදල් අයකිරිම පටන් ගන්න සූදානම් වෙන නිසා අපි මේ සම්බන්ධව දේශපාලන පක්ෂයක් ලෙස බලවත් විරෝධය දක්වනවා.”

“කවුරු හරි දැන් අහන්න පුලුවන් ආණ්ඩුවට අධ්‍යාපනයට වෙන් කරන්න මුදල් නෑ නේද කියලා. නමුත් අපි දන්නවා මේ රටේ ආරක්සක වැයිශීර්ෂය කොහොමද වැඩි වෙන්නෙ කියලා. ගිය අවුරුද්දෙ අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළා රුපියල් බිලියන 290ක් මේ අවුරුද්දෙ ඒක බිලියන 306ක් කරලා. යුද්දය තියෙන කාලෙවත් නැති විදියට ආරක්සක වියදම වැඩි කරලා. අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි වෙන්නෙ නෑ. කප්පාදු කරනවා. එහෙම නම් ආරක්ෂක වියදම් වැඩි කරන්නෙ ඇයි? කවුරු එක්කද යුද්දයක් තියෙන්නෙ? අපි හිතනවා ආණ්ඩුව යිද්දයකට ලෑස්ති වෙනවා. මේ විදියට ජනතාවගේ අධයාපන අයිතිය, සෞඛ්‍ය වියදම්, පොද් ප්‍රවාහනයට වියදම් ක්පපාදු කරලා, විශ්‍රාම වැටුප් කපනවා, ඓ් වැඩපිළිවෙළට විශාල මහජන විරෝධයක් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ජනතාව ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන කොට ජනතාවට පහර දෙන්න, කදුලු ගෑස්, ඇමොනියා, බැටන් ප්‍රහාර. වෙඩි ප්‍රහාර සදහා තමයි ආරක්සක වැය ශීර්ෂ වැඩිකරලා තියෙන්නෙ. ඒ මහජන විරෝධයට එරෙහිව යුද්ධය සදහා ආරක්සක අංශ සතුටු කරලා තියාලන්න. පහර දෙන උපකරණ ගෙන්වන්න තමයි මේ විදියට ආරක්ෂක වැය ශීර්ෂ ඉහළ දමන්නෙ.”

“ඒ නිසා ආරකෂක වියදමට බෙදන්න දික් වෙන මේ අයගෙ හැනිද අධ්‍යාපනයට දිගු නොවෙන හේතුව ඒකයි. අපි කියනවා යුද්ධයක් නැති වෙලාවෙ, යුද්ධය ඉවරවෙලා අවුරුදු 10ක් ගෙවිලා තියෙද්දි ආරකෂෙක වියදම් වැඩි කරන්නෙ ඇයි? අධ්‍යාපනයට, සෞඛ්‍යට අත්‍යවශ්‍යවන වියදම් කපලා මෙහෙම ආරක්සක වියදම් වැඩි කරන එක ගැන ඉදිරියෙදි එන අයවැයෙන් දැනගන්න ලැබේවි.”