“රෝ” කතාව මාධ්‍යයට දිම පසුපස කැබිනට් ඇමතිවරු 4ක්

0

රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ අද අනාවරණය කළා.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බවත් එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් එවැන්නක් පැවසුවේ නම් එම පුවත ලබාදුන් අය තම නමින් එය පළකරන ලෙස ද පැවසිය යුතුව තිබූ බව කී ඇමතිවරයා

‘ද හින්දු‘ පුවත්පතේ මාධ්‍යවේදිනිය පවසා ඇති අන්දමට එම පුවත ඇය අමතා ලබාදීමට සිව් දෙනෙකුම කටයුතු කිරීම සැක සහිත බව ද සදහන් කළා.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිසක් හෝ වෙනත් කවුරුන් හෝ සැලසුම් සහගතව මෙම පුවත පළකරවා දෙරට අතර ගැටුමක් ඇති කර කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇතැයි ද මෙම පුවත ලබාදුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදිනියගෙන් තොරතුරු ලබාගත නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙනත් පියවරක් අනුගමනය කිරීමට සිදුවන බව ද ප‍්‍රකාශ කළේය.