අගමැති කවුද ? ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද ?

0

රටේ අගමැතිවරයා පත්කිරිම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැති කවුරුන්ද යන්න මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිමට කටයුතු කලයුතු බවට බොහෝදෙනකුගේ මතය වි ඇති අතර අගමැති කවුද ? යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද ? යන්න මේ හරහා විමසා බැලේ.

අගමැතිවරයා පත් කිරීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.

අගමැතිවරයා ඉවත් කිරීම

අගමැතිවරයා ඉවත් කිරීම පිලිබදව කිසිදු ප‍්‍රතිපාදනයක් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව නැත. නමුත්, අගමැතිධූරය හිස්වීම පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අගමැති ධූරය හිස්වන ආකාර 3ක් දැක්වේ.

ඉල්ලා අස්වීම

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නොවීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වීම

අමාත්‍ය මණ්ඩයේ පැවැත්ම අවසන්වීම සිදුවන අවස්ථාවන්

මේ පිළිබද ප‍්‍රතිපාදන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 48(2) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අවසන් වන්නේ

පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළ විටක
ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විටෙක

මේ අනුව පැහැදිලි වන්නේ 2018 ඔක්තෝබර් 26 වන දින වන විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා නැති බැවින් අගමැතිවරයා ගේ ධුරය හිස්ව නැති බවයි.

පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් කැබිනට් මණ්ඩලය විසිරෙන්නේද ?

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වන්නේ ජාතික ආණ්ඩුවේ නොවේ. ජාතික ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු යෝජනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙනඑන්නේ 2015 සැප්තැම්බර් මස 2 වන දින වන අතර ඔහු අගමැති ලෙස පත්වන්නේ 2015 අගොස්තු මාසයේය. එම මාසයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම් දෙන ලදී.

2015 සැප්තැම්බර් 2 වන දින යෝජනාවෙන් පොදුජන එක්සත් පෙරමුණ ඉවත් වූ විට සිදුවන්නේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් මස 2 වන දින යෝජනාවට පෙර තිබූ තත්වයට පත් වීම මිස විසිරීම නොවේ. කැබිනට් සාමාජිකයින්ගේ සංයුතිය වෙනස් කිරීමෙන් ආණ්ඩුවේ අඛණ්ඩතාවට බාධාවක් නොවන බව ව්‍යවස්ථාවේ 43(3) ව්‍යවස්ථාවේ දක්වා තිබේ.

‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”

2015 ජනවාරි 9 වනදා සිදුවීම මේ හා සමානද ?

2015 ජනවාරි 9 වනදා වන විට මෙරට ක‍්‍රියාත්මක වූයේ 18 වන සංශෝධනය දක්වා සංශෝධන මගින් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි එහි අගමැතිවරයාගේ ධුරය අවසන් වන ආකාර 3ක් ඇත.

ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම

ඉල්ලා අස්වීම

පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අවසන් වීම

නමුත්, වර්තමානයේ භාවිතා වන්නේ 19 වන සංශෝධනයෙන් සංශෝධනය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එහි එවැනි ප‍්‍රතිපාදනයක් නොමැත.

එසේම 2015 ජනවාරි මාසයේදී හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කරන්නේ එය ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් පරිදිය. එබැවින් ඒ සදහා ජනතා අනුමැතියක්ද පවතී. එසේම 2015 ජනවාරි 20 වන දින පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී මෙම අගමැති ධූරය කිසිවෙකු විසින් අභියෝගයට ලක් කලේ නැත. ඒ වෙනුවට නිමල් සිරිපාල සිල්වා මහතා ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස පත් කිරීම එහිදී සිදුවිය.

අගමැති ඉවත් කිරීම සදහා අර්ථ නිරූපන ආඥා පනතේ ප‍්‍රතිපාදන භාවිතා කළ හැකිද ?

අර්ථ නිරූපන ආඥා පනතේ 14(ඊ) වන වගන්තිය දක්වන්නේ යම් නිලධාරියකු පත්කළ තැනැත්තාට ට ඔහුව ඉවත් කිරීමේ බලය පැවරෙන බවයි. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පත්කිරීම් සම්බන්ධයෙන් මෙම වගන්තිය භාවිතා කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් පිළිගෙන ඇත. (එක් තීන්දුවක් නම් අතපත්තු එදිරිව මහජන බැංකුව(1997(1) ශ‍්‍රී ලංකා නීතිවාර්තා 208)(SC refarance-03/08)

එසේම එකී පනතේ සදහන් වන්නේ “නිළධාරියෙකු” ඉවත් කිරීමක් සම්බන්ධයෙනි. අගමැතිධුරය නිලධාරියකු නොවේ.

මෙම තත්වය නිසා ඇතිවන නීතිමය ගැටලූ

අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම මත නීත්‍යානුකූල භාවය පිළිබද සැකය

අමාත්‍ය මණ්ඩල පත් කිරීම ආදී නව අගමැතිවරයා පත් කිරීමට අදාල ආනුශංගික කරුණුවල නීත්‍යානුකූලභාවය පිළිබද සැක මතුවීම (අමාත්‍ය මණ්ඩලය පත් කිරීම / ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා නියෝජනය වැනි)

ජනාධිපතිවරයා භාරයේ පවතින අමාත්‍යංශවල හැර අනෙක් අමාත්‍යංශවල නිලධාරීන්ට කටයුතු කිරීමේදී අමාත්‍යවරයාගේ අණ පිළිපැදීමේදී ඇතිවන අපැහැදිලිතා.

මෙම ගැටලූව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳාගත හැකි ද ?

මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි අවස්ථා කිහිපයක් ඇත. එනම් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ ජනාධිපතිවරයා විසින් අධිකරණයේ මතය විමසීමක් වශයෙනි. සමහර විට අභියාචනාධිකරණයේ රිට් ආඥාවක් ඉල්ලිය හැකිවුවත් මෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් පවතින බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවනු ඇත. එවැනි අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදිය හැකි තීරණ 3කි.

අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකග බවට තීරණය කිරීම

අගමැති ඉවත් කිරීම හා නව අගමැති පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කිරීම

පෙත්සම නිශ්ප‍්‍රභා කිරීම

මෙම තීරණ 3න් කුමන තීරණය දෙනු ලැබූවද ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ ආසන්තම දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේදීය. එහිදී බහුතර බලය පෙන්විය හැකි පුද්ගලයාට අගමැතිධුරය ලබාදිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here