මරා සහ සිරා රටම අකර්මණ්‍ය කළා…..හොර ආණ්ඩුවේ ලොක්කෝ සොක්කෝ දැනටම හොර ජාවාරම් නැවත අරඹලා….

8

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස බලයට පත් කරන ලද නීති විරෝධී ආණ්ඩුව මේ වනවිට මුළු රටම අකර්මන්‍යකර ඇති බවත් අඩුම තරමේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් ලබා දීමට පවා නොහැකි වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියා.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.

“අපේ රටේ ආණ්ඩුවක් නැතිව කැබිනට් මණ්ඩලයක් නැතිව මාසයක් ගතවුණා. ආණ්ඩුව යැයි කියාගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම විසින් රටේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ආර්ථිකය, ජන ජීවිතය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය, බරපතළ වශයෙන් කඩාවැටිලා. විවිධාකාරයෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් ජනතාවගේ සියලූ ආදායම් මාර්ග කඩා වැටිලා. හතලිස් එක් ලක්‍ෂයක් වන පාසැල් ළමුන්ට පාසැල් නිළ ඇඳුම ලබාදෙන්න සැලූසුමක් නැහැ. මෛත‍්‍රී රනිල් ආණ්ඩුව නිළ ඇඳුම් දීම කප්පාදු කළා; අද වෙනකොට සෙල්ලම් ආණ්ඩුව ළමයින්ට නිළ ඇඳුම් ටිකත් අහිමි කරලා. ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායමේ ඇඳුම් ගැලවිලා. මෛතී‍්‍රපාල සිරිසේන බලෙන්, බලය හදාගන්න අටවපු සෙල්ලම් ආණ්ඩුවේ පීඩනය දැන් ජනතාවට දැනෙමින් තිබෙනවා.”

“මීට පෙර ආර්ථිකය ගැන, රුපියල කඩා වැටීම ගැන, බඩු මිල ඉහළ යාම ගැන විවිධ මත ඉදිරිපත් කරපු රාජපක්‍ෂ කණ්ඩායමේ බන්දුල ගුණවර්ධන අද ආර්ථිකය ගැන මොකද කියන්නේ? ඔක්තෝබර් 26වැනිදා රුපියල් 174ක්ව තිබූ ඩොලරය සෙල්ලම් ආණ්ඩුව හදලා මාසයක් ගතවන විට 182.27 දක්වා ඉහළ ගිහිල්ලා. දැන් බන්දුල ගුණවර්ධන අපෙන් අහනවා රුපියල කඩාවැටීම අතින් අල්ලලා නවත්වන්නද කියලා? රාජපක්ෂ කණ්ඩායම බලය අල්ලා ගත්තේ රටේ ආර්ථිකය හදන්න නෙවෙයි. දිව හැරෙන, හැරෙන ඕනෑ පැත්තකට වචන ප‍්‍රකාශ කරන, මාධ්‍ය ඉදිරියේ තමන් පවසන දේට කිසිදු වගකීමක් නැති, ජනතාවට වග නොකියන බන්දුලලා ජී.ඇල්ලා වගේ අයට අපේ රටේ පාලනය දිය යුතුයි කියලා ජනතාව පිළිගන්නවාද? අද අපේ රටේ මාධ්‍ය පවා නිරුත්තර වෙලා. මීට කලින් රුපියල කඩාවැටීම ගැන නිවුස් ඇලර්ට් එවපු මාධ්‍ය පවා අද ගොළු වෙලා. මොකද, අපේ රටේ බොහෝ මාධ්‍ය මේ සෙල්ලම් ආණ්ඩුව හදන්න සහාය දුන්නා. ප‍්‍රතිපත්ති නැති දේශපාලඥයින් පස්සේ ගිහින් ඇතැම් මාධ්‍ය අද අසරණ වෙලා. අපේ රටේ යහපත් දේශපාලනය වෙනුවෙන් සත්‍ය, සත්‍ය ලෙස දැකිය යුතුයි. රුපියල කඩා වැටීම නිසා අපි විසින් ගෙවිය යුතු ණය බර රුපියල්වලින් වැඩිවෙනවා. ආනයනික භාණ්ඩවල රුපියල්වලින් මිල ඉහළ යනවා. එනිසා මේ රුපියලේ කඩා වැටීම රටේ ආර්ථිකයට දරාගන්න පුළුවන්කමක් නැහැ.”

“සිංගප්පූරු ගිවිසුම ගැන රාජපක්‍ෂ කණ්ඩායම උද්ඝෝෂණ, සම්මන්ත‍්‍රණ කළා. වැඩවර්ජන පවා සංවිධානය කළා. නමුත් අද සිංගප්පූරු ගිවිසුම ගැන ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලා. බන්දුල ගුණවර්ධන කියනවා, සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ මොන හරකෙක්ද කියලා. අපිට බන්දුලගෙන් අහන්න තිබෙන්නේ එයා මොන වර්ගයේ සතෙක්ද කියලයි. එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප‍්‍රතිපත්ති, අරමුණු සියල්ල මත පදනම් වෙලා තමයි එවැනි ගිවිසුම් අත්සන් කළේ. මහින්ද රාජපක්‍ෂලත් අද බලෙන් බලය ලබාගෙන අනුගමනය කරන්නේ ඒ ප‍්‍රතිපත්තිම තමයි. පහුගිය කාලේ මහින්ද රාජපක්‍ෂලාම තමයි ජේම්ස් පැකර් ලංකාවට ගෙනාවේ. කැසිනෝ වීදි හදන්න, ගණිකා ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යාපෘති ගෙනාවේ මහින්ද රාජපක්‍ෂලා. ඒ නිසා එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට වඩා දශමයක හෝ වෙනසක් මහින්ද රාජපක්‍ෂලාගේ ආර්ථික ප‍්‍රතිපත්තිවල නැහැ. රාජපක්‍ෂ කණ්ඩායම බලෙන් බලය ලබාගෙන මාසයක් ඇතුළත ඔප්පු කළා ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිත් සමාන බව.”

“අද කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටිලා. නොවැම්බර් මාසයේ පමණක් විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් කොටස් වෙළඳපොළෙන් ඉවත්කරගෙන. ස්වෛරී බැඳුම්කර රුපියල් මිලියන 1804ක් කොටස් වෙළඳපොළෙන් ඉවත්කරගෙන. 2019 ජනවාරි 15 වනවිට අපේ රට විසින් ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවිය යුතුයි. 2017 දෙසැම්බර් මාසය වනවිට අපේ රට රුපියල් කෝටි දශ ලක්‍ෂ තිස් නමදාහක් ණයයි. ඉන් කෝටි හයලක්‍ෂ විසිඅට දාහක් ණය ලබාගෙන තිබෙන්නෙ රාජපක්‍ෂ පාලන කාලයේ. ලබන වර්ෂය සඳහා අයවැයක් නැහැ. ආණ්ඩුවක් නැතිව අයවැයක් සම්මත කරගන්න බැහැ. ලබන ජනවාරි මස ණය ගෙවීම අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කළ යුතුව තිබෙනවා එම ණය වාරිකය ගෙවන්නේ කොහොමද කියලා. ඒ වගේම පාසැල් නිළ ඇඳුම්, පෙන්ෂන් එක ගෙවීම, රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම කරන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා රටට පැහැදිළි කළ යුතුයි. තමන්ගේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකත්වය වෙනුවෙන් රටම අරාජික කරලා විකෘතියක් බවට පත්කළේ ඔහුයි.”

“මේ වෙනකොට අටවා ගත්ත කැබිනට් එක විවිධ ගනුදෙනු කරමින් තිබෙනවා. කොළඹ ජයබහලූ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු චීන සමාගම් දෙකකට ලබාදෙන්න සෙල්ලම් කැබිනට් එක තීන්දු තීරණ අරගෙන. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න තීරණය කොට තිබෙනවා. චීනෙන් ගත්ත ණය ගෙවන්න චීනයෙන්ම ණය ගන්න තත්වයකට පත්වෙලා. මේ විදිහට සෙල්ලම් ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව කිසිදු නීතියක් සම්මත කරගන්න බැහැ. රටේ ජන ජීවිතය උඩු යටිකුරු කරලා. පාසැල් දරුවට නිළ ඇඳුම නැහැ. ගොවියට පොහොර සහනාධාරය නැහැ. රාජ්‍ය සේවකයට වැටුප් නැහැ. පෙන්ෂන් එක නැහැ. මේ විදිහට රට අරාජික කිරීමේ වගකීමෙන් රාජපක්‍ෂලාට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. රාජපක්‍ෂලාට සහාය දෙන ජන කණ්ඩායම් පවා මුහුණ දෙමින් තිබෙන මේ අර්බුදයට වගකියන්නේ කවුද? පහුගිය කාලයේ ආණ්ඩුව මිල සූත‍්‍ර හදලා තෙල් මිල වැඩිකළා. තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව යමින් විවිධ ගිවිසුම් ගැහුවා. බඩුුමිල වඩිකළා. එජාප ආණ්ඩුවටත් ජනතාව ගැන හැඟීමක් තිබුණේ නැහැ. එජාප ආණ්ඩුවේ මුදල් ඇමති මංගල මිල සූත‍්‍රය ගැන ඇහුවම ජනතාවට විහිලූ සැපයූවා. අදත් ඒ පීඩනය එහෙමමයි. එමනිසා රනිල් වික‍්‍රමසිංහලාවත් මෛතී‍්‍රපාල සිරිසේනවත් මහින්ද රාජපක්‍ෂලාවත් ජනතාවගේ අර්බුදයට විසඳුම් දෙන්නේ නැහැ.”

“ලෝකයේ රටවල් දැන් අනෙකුත් රටවල්වලට අභියෝග කරන්නේ නැහැ. ඇමරිකාව පවා උතුරු කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සාකච්ඡුා කරනවා. එවැනි තත්වයක් තිබියදී අපේ රටේ සෙල්ලම් කැබිනට් එකේ ඇමතිවරු වෙන රටවල්වලින් අපිට වැඩක් නැහැ කියනවා. අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවර නැහැ. වෙන රටවල්වල තෙල්වලින් යැපෙනවා. බොහෝ යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වන්නේ පිට රටවල්වලින්. විශාල භාණ්ඩ ප‍්‍රමාණයක් ආනයනය කරනවා. අයවැය හිඟය පියවීමට පවා ණය ගන්නවා. එසේ තිබියදී අනෙකුත් රටවල්වලට අභියෝග කිරීම විහිළුවක්. 2019, 2020 වසරවලදී තමයි අපේ රට ගත්ත ණයවල වැඩිම ණය පොලී වාරිකය ගෙවන්න තිබෙන්නේ. ඒ වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට ණය ගිවිසුම් සමාලෝචනය කරනවා වෙනුවට ආර්ථික වැඩපිළිවෙළ සකස් කරගන්නවා වෙනුවට මෛතී‍්‍රපාල සිරිසේන විසින් වර්ෂ අවසානයේදී රටේ මුළු ශේෂ පත‍්‍රයම අවුල් කරලා දැම්මා. දෙසැම්බර් 31න් පස්සේ වියදම් කරන්න කිසිදු මුදල් ප‍්‍රතිපාදනයක් නැහැ. රට ඉතාම අස්ථාවර තත්වයකයි තිබෙන්නේ. මෛතී‍්‍රපාල සිරිසේනට එජාපයේ කැබිනට් එකත් එක්ක කරගන්න බැරිවුණු දේවල් මහින්දලා, බන්දුලලා එක්ක කරන්න පුළුවන්ද? එජාපය ආණ්ඩුව සමඟ ඉන්නකොට සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා කියන ජනාධිපතිගෙන් අපි අහනවා අද ඒගැන ස්ථාවරය කුමක්ද කියලා?”

“1950 අපේ රටේ අයවැය හිඟය රුපියල් මිලියන 163යි. 2005 සිට 2015 දක්වා පමණක් අයවැය හිඟය රුපියල් කෝටි 67,511යි. මහින්ද රාජපක්‍ෂට ආර්ථිකය හදන්න පුළුවන් කියනවා නම් ඔහුගේ පාලන කාලය තුළ පමණක් අයවැය ගිඟය මේ තරම් වැඩිවුණේ කොහොමද? 2015දී අයවැය ගිඟය රුපියල් කෝටි 23,823යි. එවැනි බරපතළ අයවැය හිඟයක් තිබෙන ආර්ථිකයකයි අපි ඉන්නේ. ඇතිවූ දේශපාලන අස්ථාවරය නිසා දේශීය ආයෝජකයෝ අස්ථාවර වෙලා. මේ වෙනකොට මහින්ද රාජපක්‍ෂගේ පරණ හොරු රැුල නැවත තනතුරුවලට පත්වෙමින් තිබෙනවා. තමන්ගේ පරණ පුරුදු රස්සාවල්වල නිරත වෙමින් තිබෙනවා. මේ තත්වය පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරක් ලබාදිය යුතුයි. මෛත‍්‍රීපාල සිරිසේනලා, මහින්ද රාජපක්‍ෂලා ඇතුළු දේශපාලන කුමන්ත‍්‍රණයට සම්බන්ධ සියලූ දෙනා අද රෙදි ගලවගෙන ඉවරයි. මහින්ද රාජපක්‍ෂට යම් ගෞරවයක් තිබුණා නම් දැන් ඒකත් ඉවරයි. මෛතී‍්‍රපාල සිරිසේනගේ දේශපාලන අනාගතය අවසන් වෙලා ඉවරයි. අපි ජනාධිපතිවරයාට කියනවා, අස්ථාවර කොට තිබෙන රට ස්ථාවර කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි කියලා.”



8 COMMENTS

Comments are closed.