හොර ආණ්ඩු හදන්න අල්ලස් දුන්නාට වැඩ වරදී!

4

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඊයේ සවිසතරාමක ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලබා දුන්නා. ඒ පසුගිය නොවැම්බර් 05 වැනිදා ඔවුන් විසින් කොමිසමට සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල සම්බන්ධයෙනුයි.

මෙම ප්‍රකාශය අනුව ඔවුන් විශේෂයෙන් සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ දුරකතන සංවාද අනුව මෙම අල්ලස් දීමට තැත් කිරීම අල්ලස් පනතේ 14වන වගන්තිය පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බවයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කියා සිටියේ අදාළ දුරකථන සංවාද අනුව ප්‍රධාන කරුණු 3ක් ඉස්මතු වන බවයි.

1- පක්ෂය මාරු කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට කතා කිරීම.

2- එම මුදල අමෙරිකානු ඩොලර් මුදල් ඒකකවලින් ගෙවීමට යෝජනා කිරීම.

3- අදාළ ගනුදෙනුව ආණමඩුව ප්‍රදේශයටම පැමිණ සිදු කිරීමට ඇති කැමැත්ත.

අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සම්බන්ධයෙන් අල්ලස් වරදකදි වසර 7ක සිර දඬුවමකට යටත් කළ හැකියි. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිළධාරින් පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ද පවතින බවයි.

“ අපි බලාපොරොත්තු වෙනවා මේ පරික්ෂණවල ප්‍රතිඵල අනුව මේ විදියට මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම ඒ තුළින් අනාගතයේ දී මෙවැන්නක් සිදු කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකුට එහි ප්‍රතිවිපාක ගැන දෙවරක් සිතා බලන්නට වේවි“

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබේසේකර වැඩිදුරටත් කියා සිටියා.

4 COMMENTS

Comments are closed.