කොල්ලො හතයි – මං විතරයි

0

‘අපේ අම්මලෑ තාත්තලෑ පවුල්වලට ඉපදුණේම කොල්ලො. කොල්ලො හතකට පස්සෙ ඉපදිච්ච එකම කෙල්ල මං. ඒ කොල්ලො හතයි තනි මමයි ඔක්කොම හැදුණෙ එකටමයි’.දෙක වසරේ ඉඳන් කොල්ලොත් මට බයයි

පියුමි ශානිකා බොතේජු ජීවිතේ ලස්සනම දවස්වල වගතුග කියන්නයි මේ ලෑස්තිය.

ඉතිං මරුනෙ. පියුමිත් කොල්ලා වගේ හැදෙන්ඩැති?

ඉන්ඩකො කියනකල්. හැබැයි මේ කතාව ඔයා හදලා කරලා පත්තරේ දාන්ඩ බලන්ඩ හොඳද. පුංචිම කාලෙනෙ අනේ, ගෑනු ළමයි, පිරිමි ළමයි කියලා නැහැ නේ. ඔක්කොම පොඩි දරුවොනේ.

දැන් කොල්ලොම හතයිනේ. කෙල්ල මං විතරනේ. අපි ඔක්කොමලව නාවන්ඩ පන්නිපිටියෙ ගෙදර ළිඳ ළඟට ගේන්නෙ එකට. එක වතුර බාල්දියෙන්ම ටික ටික වක්කර කර අපිව අම්මලා, නැන්දලා නාවනවා. එතකොට අපි හීතලේ ගුලිවෙලා ඇස් වහගෙන බ්ර්…බ්ර්… කිය කියා නෑවීගෙන යන වතුර ටිකට කටින් පිඹිනවා.

ඔක්කොම නාවන්ඩ ගෙනාව මුල් දවස්වල පුංචි කමට අයියලෑ මල්ලිලෑ වැඩේම පුංචිම පුංචි මගේ වටේ වටවෙන එක. ඒ ගොල්ලන්ගෙ විදියයි මගෙ විදියයි ඒගොල්ලන්ට හෙණම අවුලක්. දවසක් එතැන හිටිය පිරිමි ළමයෙක් ඇහුවා. ‘ඇයි අම්මේ මේ නංගිට අපි වගේ…. නැත්තේ’ කියලා. අම්මා එදා එයාට සැරකළා. ඊට පස්සෙ නම් එයා එහෙම ඇහුවෙ නෑ. අපිව එකට නෑව්වෙත් නෑ.

අපි පන්නිපිටියෙන් මාලඹේ අරංගලට ගියේ පදිංචියට. එතකොට ඊට වඩා අපි ටිකක් ලොකුයි. අයියලා හත්දෙනයි මමයි ඉන්නෙම අපේ ගෙදර කොට තාප්පේ උඩමයි. අම්මලා මට ගවුම්, කැඩුම් අන්දන්ඩ සෑහෙන්ඩ වලි කෑවා. ඒත් මං නෙවෙයි ගවුම් ඇන්දෙ. අයියලා විදියටමයි මටත් අඳින්න ඕන වුණේ, කොටම කොට ෂෝටයි ටී ෂර්ට් කෑල්ලයි තමයි. කළෙත් කොල්ලො කරන වැඩම තමයි. මං බයිසිකල් පදිනවා. අමාලි කියන මගෙ යාළුවගෙ ගෙදර ගිහින් මං කළේම පොල්ගස් බඩගාන එකමයි.

තාප්ප කොටේ උඩම ඉඳිද්දි ඒ ළඟ පාරෙ යන එන සමහරු දකිද්දි එයාලට මොකක්හරි වැඩක් දෙන්නත් අපිට හිතෙනවා. ඉතින් සමහරදාට අපි නයි අදිනවා. ඒ කියන්නේ අයියලා හොඳ බෙල්ට් පටියක් පාරට දානවා. ඒක නූල්වලින් ගැටගහලයි තියෙන්නෙ. කරුවලේ එතැනින් යන එන සමහරු මේ බෙල්ට් එක අහුලන්න පාත් වෙනවා. එතකොට අපි නූලෙන් අදිනවා. එතකොට සමහරු බයවෙලා කෑගහලත් තියෙනවා.

අයියලා ඒ වැඩේ තිතටම දෙනවා. මං තමයි ඔත්තු බලන්නේ . විසිල් එකකින් තමයි මං වැඩේ ඕකේ කියලා අයියලට සිග්නල් කරන්නේ. ඒත් සමහරදාට වැඩේ ගැස්සෙනවා. ඒ කියන්නේ එහෙම බයවෙන මිනිස්සු ඇවිදින් අපේ තාත්තට මේ අවනඩුව කියනවා. එතකොට තාත්තගෙන් කෙල්ල කියලා බලන්නේ නැතිව මටත් අයියලට වගේ දුම් විසිවෙන්ඩ පස්සට කෝටුපාර වදිනවා.

අයියලා හත්දෙනයි මමයි ගමපුරා ඇවිදිනවා. අවුරුදු උත්සවවලදි එහෙම බිත්තර පාස්කරලා දිනන්නෙම අපි. විකට ඇඳුම් තරගවලදිත් එහෙමයි. එතකොට මං අඳින්නේ පිරිමි චරිතෙකට. අයියා කෙනෙක් ගෑනු චරිතෙකට අඳිනවා. ඒ විදියට මං කංකානමට, මහදැනමුත්තට එහෙම ඇඳලා තියෙනවා. ඒ මොකක් ඇන්දත් හුඟක් වෙලාවට පළවෙනි, දෙවැනි තැන් දිනන්නේ අපි අපිම තමයි.

අම්මා මට බලෙන්ම රතු ගවුමක් ඇන්ඳුවා. කළු සපත්තු දැම්මුවා. බෝ එකක් එහෙමත් දම්මලා එදා තමයි මුලින්ම මාව මොන්ටිසෝරි ගෙනිච්චෙ. මං ගිහින් බැලින්නම් එදා මුලින්ම මොන්ටිසෝරියට ගෙනාව ගෑනු, පිරිමි ළමයි ඔක්කොම අඬනවා. ඒකට මට හිනා. මං අම්මාගෙන් ඇහැව්වෙ ඇයි අම්මේ ඒගොල්ලො අඬන්නේ කියලයි.

ඉස්කෝලෙදි මං සැරයි. දෙක වසරෙ ඉඳන් කොල්ලොත් මට බයයි. විහිළු කළොත් මං කොල්ලන්ගෙ බඩට අනිනවා. ඊට පස්සෙ ආයෙත් ඉතින් මාත් එක්ක විහිළුවට නම් එන්නෑ.

ටික ටික ලොකු පන්තිවලට යද්දි මගෙ හිත ගියේම ක්‍රීඩාවට. අපේ තාත්තත් ධාවන ශූරයෙක්. තාත්තා ඉස්කෝලෙ ගිය කාලෙ තියපු වාර්තාවක් කැඩුවෙත් අපේ ලොකු අයියමයි.

ක්‍රීඩා උත්සව කාලෙදි යකඩ කටින් අපේ විස්තර කියනවා. ලොකු අයියා දුවද්දි එයාට කියන්නේ මෙන්න දැන් ලොකු බොතේජු ධාවන තරගයට ඇවිදින් කියලා. දෙවැනියට කියන්නේ පොඩි බොතේජු කියලයි. ඊට පස්සෙ මම දුවන වෙලාවට එනවුන්ස් කරලා කියන්නේ දැන් බොතේජු නංගි දුවන්නයි ලෑස්තිය කියලා. ඒ වගේම අපේ පවුලෙ කාවවත් දුවලනම් පරද්දන්න කාටවත් බැරිවුණා.

පන්තියෙදි මං දඟ වැඩියිලු. අම්මව ඉස්කෝලෙට ගෙන්වපු ටීචර් දවසක් කිවුවෙත් අයියලා ටික හොඳට ඉන්නවා. මෙන්න මෙයා තමයි දඟම කියලා.

එතකොට මං ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙනවා. ඉතින් ගෙදරින් මට ටීවී බලනඑක තහනම් කෙරුවා. ටීවි එකත් වෙනම කාමරේකට දාලා වැහැව්වා. ඒත් අයියලගේ සපෝට් එකෙන් මං ජනෙල් කූරුවල එල්ලිලා හොරෙන් ටීවී බැලුවා.

ශිෂ්‍යත්ව විභාගය කිට්ටු වෙද්දි තාත්තා මට කෑමක් ගෙනාවා. ඒ තමයි මං ආසම කෑම වුණු රෝස්ට් චිකන්. මං චිකන් පළුවක්ම අයියලටත් හොරෙන්ම ගිල්ලා. පහුවදා ශිෂ්‍යත්ව විභාගය. මං උදේට කිරිබත් එහෙම කාලා විභාගයට යන්න ලෑස්ති වෙද්දී මට බඩ රිදිල්ලක් ඇල්ලුවා. ස්පෝට් මීට් එකේදි දිව්වට වඩා වේගෙන් තුන් හතර වතාවක්ම ටොයිලට් දිව්වා.

බඩේ ලෙඩේ පිටින්ම විභාගයටත් ගියා. ප්‍රශ්න පත්තරෙත් ලැබුණා. මට පළමුවැනි ප්‍රශ්න පත්තරෙන් භාගයක්වත් ලියාගන්න බැරිවුණා. ආයෙමත් බඩේ අමාරුව. ඉතින් මොන විභාගෙ ලිවිල්ලක්ද. ඒ වැඩේ ඉවරවෙලා එද්දි විභාගෙ උත්තර පත්තර එකතු කරනවා.

ඊළඟට දෙවැනි ප්‍රශ්න පත්තරේට ලියන්න ඉඳගත්තා. ඒකත් ලියාගන්න වුණේ හරියටම භාගයයි. කලින් හැදුණු ලෙඩේම හැදුණා. ඒ පාරත් ටොයිලට් ගිහින් එද්දි උත්තර පත්තර එකතු කරනවා. මට හරියට දුක හිතුණා. ගෙදර ඇවිත් අඬ අඬා හිටියේ. මං ෆේල් තමයි කියලා අම්මලටත් කිවුවා.

ඒත් එහෙම වුණේ නැහැ. විභාගෙ ප්‍රතිඵලත් පිටවුණා. භාගෙ ගාණෙ උත්තර ලිව්වත් මං විභාගෙ පාස්වුණා. පස්සෙ කාලෙක ඒ ලෙවල් කරන්න මං කොළඹ ගෝතමී විද්‍යාලයට ආවා. ඒත් මුල් සතියෙන්ම මට ඉස්කොලෙ එපා වුණා. ඒ මං වැඩිපුරම හැදුණෙ පිරිමි ළමයි එක්කලා හින්ද වෙන්නැති. ඉතින් මං මුලදි සති දෙකක්ම ඉස්කෝලෙ නොගිහින් මඟ හැරියා.

ෂූටිං අතරෙදිත් හොඳ අත්දැකීම් ලබලා ඇති?

පත්තරවලින්, ටීවි කොමර්ෂල්වලින් එහෙම තමයි මාව රටම මුලින් දැක්කේ. ඊට පස්සෙ ‘නෝනාවරුනි, හිට් විකට් ටෙලිවලදි, සමහර වෙලාවට සෙට් එකේ ඔක්කොම ෂූටිං ඉවරවෙන කල් කට තදකරන් බලන් ඉන්නෙම හිනාවෙන්ඩ. ඉතින් එයාලව දැක්කම මටත් හිනා ගිහින් තියෙනවා. පබා ලොකේෂන් එකේදි සමහර වෙලාවට රම්‍යා අක්කට මටත් කලින් හිනා යනවා. තව සමහර වෙලාවට මට එයාට කලින් හිනා යනවා. එහෙම වෙලාවට මුලින්ම හිනා වුණේ කවුද කියලා තෝරගන්ඩ බැරුව අපි රණ්ඩුත් වෙනවා. මං කියන්නෙම හිනා වුණේ නෑ අනේ ඒ මගේ කටේ හැටි කියලයි.

රන්ජා චිත්‍රපටයෙ මට තිබුණේ බජාර් එකේ ගේම් දෙන කැරැක්ටර් එකක්. අරක්කු සිගරැට් වගේ වස ජාතිත් ඒ කෙල්ල බොනවා. ඉතින් මට ඒවා ෂූටිං එකට වුණත් පුරුදු වෙන්න වුණා. එහෙම කැස්ස හැදි හැදි දුම් උරන්ඩ පුරුදු වෙන්ඩත් මට දවස් ගාණක්ම ගියා.

‘එක්ටැම්ගේ’ ටෙලියෙ මාලි චරිතෙට මං හුඟාක් ආසයි. සෙනුරිගෙ අම්මා විදියට මං ටිකක් වයසට ගිහින්, ළඟදිම ඔයාලගෙ ගෙදර ආලින්දයට එන්නයි ඉන්නේ. කින්නර දමනයෙදි මට ලැබුණෙ හරිම ඉක්මනින් වෙනස්වන කාන්තාවකගෙ චරිතයක්. එයා හස්බන්ඩ් එක්ක මේ හොඳට හිනා වෙලා කතා කරකර ඉන්නවා. ඒත් හිත යටින් තියෙන්නේ හස්බන්ඩ්ට ගේමක් දෙන්නෙ කොහොමද කියලයි. ඒ චරිතය මට ලැබිච්ච ලොකු අභියෝගයක්.

තවමත් මං හීන මවන චරිතයක් තමයි මෙහෙණියක වීම. ඇත්තටම මට එහෙම අවස්ථාවක් ලැබුණත් ඒක මට මඟ හැරුණා. ‘මං දියවෙලා’ වේදිකා නාට්‍යයට ආරාධනා ලැබුණේ ඒක සම්මානයට නිර්දේශ වෙලා තියෙද්දියි. මට ඒ චරිතයට බද්ධ වෙන්න ලැබුණෙ දවස් නවයක් විතරයි. ඉතින් රෑ අටේ ඉඳන් පහුවදා පාන්දර තුන විතර වෙනතුරු මං රිහසල් කළා. මට ඒ කැපවීමේ ප්‍රතිඵලය විදියට ලැබිච්ච කුසලතා සම්මානයටත් මං හුඟක් ආදරෙයි.

සරසවියට ලිව්වේ නුවන් මහේෂ් ජයවික්‍රම

Piumi01