නොකරන පැත්ත නෙමේ කෙරෙන පැත්ත

0

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට හෙද සේවා පුහුණුවට 6025 ක් බඳවා ගැනීම ලබන මස 17 දින සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 44 ක් පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ හෙද සේවාව සඳහා පළමුවැනි වතාවට එක්වර 6025 ක්, බඳවාගැනීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාවක් පිහිටුවන බවයි. හෙද සේවාවට එක්වර 6025 ක්, බඳවාගැනීමට තීරණය කළේ එම සේවාවේ තිබෙන දැඩි අවශ්‍යතාවය නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළා. වාර්ෂිකව හෙද හෙදියන් විශාල පිරිසක් විශ‍්‍රාම යන අතර, තවත් පිරිසක් විදේශ ගත වේ. එමෙන්ම රෝහල්වල සිදුවන සීඝ‍්‍ර සංවර්ධනයේ දී විවිධ ඒකක අලූතින් එක්වීම නිසා එහි සේවය කිරීමට හෙද හෙදියෝ වැඩිපුර අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

සෞඛ්‍ය සේවාවට වැඩිපුරම වෘත්තිකයින් මෙම වසර අවසන්වීමට පෙර එක්වීමට නියමිතයි. ඒ අනුව මෙම මස 26 වන දින සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍යවරු 1043 ක්, බඳවාගැනීමට නියමිත අතර, ලබන මස 17 වන දින හෙද පුහුණුව සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අ.පො.ස උසස් පෙළ විද්‍යා විෂයධාරාව සමත් 6025 ම බඳවාගැනීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසා සිටියා.

එදිනම පරිපූරක වෛද්‍ය සේවාව සඳහා පුහුණුව අවසන් කළ 1700 කට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පත්වීම් ලිපි ලබාදීමට නියමිතයි. සෞඛ්‍ය සේවාව සඳහා මෙතරම් විශාල මානව සම්පත් සංඛ්‍යාවක් එක්වර බඳවා ගන්නා ප‍්‍රථම අවස්ථාව මෙය බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ අපි සියළු දෙනාම සාකච්ඡුා කරලා තීන්දුවක් ගත්තා 6025 ක් බඳවාගමු කියලා. එතකොට ආපු ගැටළුව තමයි පුහුණුවීමට ඇති ඉඩකඩ ප‍්‍රමාණවත් නැහැයි කියන ප‍්‍රශ්නය. මේ සඳහා තාවකාලික ගොඩනැගිලි හදන්න ඉංජිනේරුවරු ගෙනල්ලා උපදෙස් දුන්නා. යුද්ධය කරන කොට යුද්ධයට ගිය ජනරාල් ඉදලා සොල්දාදුවා දක්වා පහසුකම් හෙව්වේ නැහැ. ඒගොල්ල බැලූවේ යුද්ධය දිනන්නේ කොහොමද කියන එක විතරයි. අපි සෑමවිටම බැලිය යුත්තේ නොකරන පැත්ත නොව කෙරෙන පැත්තයි. හැබැයි ඕන කෙනෙකුට නොකෙරෙන පැත්තට ඕන තරම් ගණන් හදන්න පුළුවන්. නමුත් කෙරෙන පැත්තේ තියෙන අවදානය ගන්න කවුරුත් කැමැති නැහැ. අභියෝගය කියන්නේ පහසු දේවල් කිරීම නොවෙයි. පහසු දේවල් කරන්න හරි ලේසියි. විවේචන එන්නෙත් නැහැ, ප‍්‍රශ්න එන්නෙත් නැහැ, වියදම් යන්නෙත් නැහැ.

නායකත්වයට පත්වන්නේ නායකත්වයට සුදුසු කෙනායි. පරික්ෂණ කොයි ආකාරයෙන් තිබුනත්, උසස් තනතුරුවලට පත්වෙන කොට ඒ තනතුරට ඒ පුද්ගලයා සුදුසු ද කියන කාරණය සොයා බලනවා. නායකයෙක් කියන්නේ හැම විටම තමන්ගේ ප‍්‍රශ්නයට වඩා අනුන්ගේ ප‍්‍රශ්න දිහා බලන කෙනෙක්. නායකයා කියන්නේ හැම විටම ප‍්‍රශ්න හදන කෙනෙක් නොවෙයි විසඳන කෙනෙක්. නායකයෙක් කියලා කියන්නේ හැමවිටම ප‍්‍රශ්නයක් වැඩිදියුණු කිරීම නොව ප‍්‍රශ්න අවම කිරිමට බලන කෙනෙක්. ඒ නිසා හෙද සේවාවේ මේ තනතුරට පත්වන ඔබ එම තනතුරට පත්වන්නේ නායකත්වයට සුදුසු නිසයි. ඒ නිසා හෙද සේවාවේ තිබෙන ගැටළු අවම කර ගැනීමට ඔබේ සහාය ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මෙම අවස්ථාවේදී හෙද සේවාවේ විශේෂ ශ්‍රේණිය සඳහා හෙද හෙදියන් තෝරා ගැනීමේ විභාගය සමත් 44 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරිම සිදු වු අතර, එම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අතිරේක ලේකම්වරුන් වන කේ.එස් කීරගල, වෛද්‍ය අමල් හර්ෂ සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු සහභාගි වී තිබේ.