රටට බොරු කියන්න එපා! දිවයින පුවත්පතෙන් අගමැති ඉල්ලයි…

8

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජාතිවාදය අවුස්සා රට ගිනි තැබීමේ උත්සාහයක නිරතව සිටින බවත්, ඒ අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13) තෛපොංගල් උත්සවය අමතා පැවසීය.

යෝජිත ව්‍යවස්ථාවෙන් පොලිසිය කැඩෙන බවට ඉරිදා පුවත්පතක පළ කර තිබෙන වාර්තාවේ  කිසිදු සත්‍යතාවයක් නැති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ව්‍යවස්ථාවක හෝ කෙටුම්පතක එවැන්නක් සඳහන් වන්නේ නම් එය පෙන්වා දෙන ලෙසත් එසේ පෙන්වා දිය නොහැකි නම් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තව දුරටත් ජනතාව මුලා කිරීමට උත්සාහ නොකරන ලෙසත් තමන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කළ තෛපොංගල් උත්සවය ඊයේ (13) දින සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී පැවති අතර, එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමට මනෝ ගනේෂන් ඇමතිතුමා විශාල උනන්දුවකින් ක්‍රියාකරමින් සිටිනවා.  ජාතික භාෂා ව්‍යාප්ත කරමින් සිංහල, දෙමළ භාෂා නොදන්නා අයට ඒවා දැනගැනීමට හැකි අවස්ථාවක් උදාකර දීමටත්, ජාතික ඒකාබද්ධතාවය හා සංහිදියාව ඇති කිරීමටත් එතුමා පියවර ගෙන තිබෙනවා.

මේ වැඩකටයුතු රජයේ කොටසක් බව කිව යුතුයි. සංහිදියාව හා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇතිකරමින් සිංහල වුණත්, ද්‍රවිඩ වුණත්, මුස්ලිම් වුණත්, බෞද්ධ වුණත්, හින්දු වුණත්, ක්‍රිස්තියානි වුණත් අපේ සංස්කෘතිය ආරක්ෂාකර ගෙන අප ඉදිරියට යා යුතුයි.

අද මේ රටේ සියළු ජන කොටස් එකමුතුව එකට වැඩකරන පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. මෙලෙස රටේ ජනතාවත් එකතුවන අවස්ථාවේදී ජාතිවාදී ව්‍යාපාරයක් රටේ දියත් වෙමින් තිබෙනවා.  අළුත් ව්‍යවස්ථාවක් ගෙනවිත් රට බෙදන්න යන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිංහල ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නවා.

මේ වන විට අපි අළුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඉදිරිපත් කර නැහැ. මෙවැනි පසුබිමක මේ ව්‍යවස්ථාව ගැන කරුණු දැක්වීමට කියමින් ඇතැම් අය නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට පන්සල්වලට බඩ ගානවා. මං ඒ අය ගැන කනගාටු වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නොවෙයි. පංචශීලය ආරක්ෂා වෙන්න නම් මුසාවෙන් වැලකිය යුතුයි. මේ අය මෙලෙස විහාස්ථාන වෙත ගොස් බොරු කියනවා නම් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරනවා නම් අසත්‍ය කරුණු මහා සංඝරත්නයට කියනවා නම් ඒ පවෙන් ඒ අයට මේ ජීවිතෙත් ඊළඟ ජිවිතෙත් කුමක් සිදුවෙයිද කියා මට කියන්න බැහැ. ඒ අයගේ සුභ සිද්ධිය සදහා පන්සිල් පිළිපදින්න කියා මා ඒ අයට කියන්න කැමතියි.

කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වනතෙක් අප සකස් කර හෝ ඉදිරිපත් කර නැහැ. මේ සඳහා පත්කර තිබෙන මෙහෙයුම් කමිටුවේ සියළු පක්ෂවල නියෝජිතයෝ සිටිනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ අපට ලැබෙන වාර්තා සියල්ලම ව්‍යවස්ථාදායක සභාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අවසන් වාර්තා හයක් අප ඉදිරිපත් කළා. එතැනින් ඉදිරියට යනවද නැද්ද කියා පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කෙටුම්පතක් සකස් කළොත් එයට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ලැබිය යුතුයි. පවතින දේශපාලන වාතාවරණය යටතේ  මේ සම්බන්ධව අවසන් තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාවයි. අපට ඒ ගැන තීරණවලට එළඹෙන්න බැහැ.

මේ පසුබිම තුළ ඉරිදා දිවයින පුවත්පතේ පළවී තිබෙන වාර්තාව ගැන මා පුදුමයට පත්වුණා. නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කැඩෙන බව දිවයින පුවත්පත වාර්තාකර තිබෙනවා. එය සම්පූර්ණ අසත්‍යයක් බව කිව යුතුයි. මොකද තවම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ව්‍යවස්ථාවක් සකසා නැහැ. අප ඉදිරිපත් කර තිබෙන්නේ ඒ සම්බන්ධව විශේෂඥයින්ගේ වාර්තාව, විශේෂඥයින්ගේ විකල්ප,  වාර්තාව, දේශපාලන පක්ෂවල ස්ථාවරය සම්බන්ධ වාර්තාව, මහ ඇමතිවරුන්ගේ වාර්තාවන් සහ එම විවාදයේදී විෂයන් අනුව මන්ත්‍රිතුමන්ලා කළ කතාවල සාරාංශයක් පමණයි.

මේ අනුව මෙතන ව්‍යවස්ථා කෙටුම්පතක්වත් ව්‍යවස්ථාවක්වත් නැහැ. පොලිසිය සම්බන්ධව විශේෂඥ වාර්තාවේ හා දේශපාලන පක්ෂවල යෝජනාවලත්, මහ ඇමතිතුමන්ලගේ යෝජනාවලත් කරුණු සදහන් වෙනවා. පොලිසියට වැඩිපුර බලතල දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමතිවරයෙක් ලබාදී තිබෙන යෝජනාවල සඳහන් වෙනවා. මේ යෝජනාව ගැන අපි එකඟවෙනවාද නැද්ද යන්න වෙනම කරුණක්. නමුත් ඔහුට ඔහුගේ යෝජනාව ඉදිරිපත් කරන්න අයිතියක් තිබෙනවා. ඒ යෝජනාවට අපි විරුද්ධ නම් විරුද්ධ විය යුතුයි.  එකඟ නම් එකඟ විය යුතුයි.

සන්ධානයේ මහ ඇමති තුමා පොලිස් බලතල වැඩිකළ යුතු බවට යෝජනාකර තිබෙනවා. එහෙම නම් දිවයින පුවත්ත අද මේ යෝජනාවලින් කුමන යෝජනාව ගැන ද කතා කරන්නේ කියා මා දැනගන්න කැමතියි.  ඔබත් මෙය කියවා නැතිනම් මොනවටද මේවා ලියන්නේ. මම මෙය කියවලා තිබෙන නිසා සත්‍ය ප්‍රකාශ කළ හැකියි.

දිවයින පුවත්පත වාර්තාකර තිබෙන්නේ කුමන යෝජනාව ගැන දැයි ඔවුන්ගෙන් විමසීමට කැමතියි. මෙහි යෝජනා ගණනාවක් තිබෙනවා. ඒවායෙන් කුමන යෝජනාද එතුමාගේ එම යෝජනාවල  මහ ඇමති තුමාගේ යෝජනාද. එසේත් නැතිනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ සර්වපාක්ෂික යෝජනාද එතුමාගේ එම යෝජනාවල සදහන් වෙන පරිදි පොලිසියට දියයුතු කොටස් දෙන්නද. මේ සියල්ල ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීරණ ගත යුතුයි. ඒ අනුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 එකඟත්වය ද ලබාගත යුතුයි. එහෙම නැතිව ඔබටත්, මටත් වුවමනා විදියට අපේ තනි තීරණවලට අනුව මෙය කරන්න බැහැ.

කෙසේ හෝ මේ ප්‍රශ්නයට විසදුමක් සෙවීමට අපට සිදුව තිබෙනවා. සංහිදියාව හා ජාතික එකමුතුකම ඇති කිරීමට දේශපාලන විසදුමක් අවශ්‍යයි. විධායක ජනාධිපතිකම නැති කරන්න දේශපාලන විසදුමක් අවශ්‍යයි. මේ ප්‍රශ්නවලින් අපට පැනලා යන්න බැහැ. ඒ අනුව අපි අපේ අදහස් ඉදිරිපත් කරමු. අපි  බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා අපේ අදහස් සෘජුව ඉදිරිපත් කරල ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරමු. ඉන් අනතුරුව ව්‍යවස්ථාව හා ව්‍යවස්ථා කෙටුම්පත් ගැන තීරණවලට පැමිණිය හැකියි. තවම එලෙස අවසන් තීරණ ගෙන නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබඳව කෙටුම්පතක් හෝ සකසා නොමැති අවස්ථාවක ඒ ගැන අසත්‍ය පතුරවමින් ජාතිභේදය ඇතිකර රට ගිනි තියන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. මේ අයට රටේ වෙන කාරණයක් ගැන කතා කරන්න බැරි තරමට බං කොලොත් වෙලා තියෙන්නේ. හිඟන්නාගේ තුවාලය මෙන් මේ ගැනම කියමින් ජීවත්වීමට උත්සාහ ගන්නවා. මේ පේ‍රා්ඩාව දැන්වත් නැවැත්විය යුතුයි.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට මෙවැනි ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ බව කියනවා නම් කරුණාකර ඒ කොටස පෙන්වන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ කළ නොහැකි නම් රටට බොරු කියන්න එපා කියා මා දිවයින පුවත්පතෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි අසත්‍ය වාර්තාවක් පළකිරීම සම්බන්ධව දිවයින පුවත්පත ගැන මා කනගාටු වෙනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

හින්දු ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන්, අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන් අදහස් දැක්වූහ. එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්. සම්බන්ධන් සහ එම්. ඒ. සුමන්තිරන්,  අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 



8 COMMENTS

  1. I simply want to say I am all new to weblog and certainly savored this web-site. More than likely I’m likely to bookmark your blog . You really come with excellent writings. Regards for sharing with us your website page.

  2. It was something of great contentment getting to your site last night. I got here right now hoping to uncover something new. And I was not disappointed. Your ideas upon new techniques on this topic were informative and a good help to us. Thank you for having time to create these things plus for sharing your thoughts.

Comments are closed.