වතුකරයේ ජනතාව කියල කොන් කරන්න එපා…

3

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සම්පූර්ණයෙන් අබලන් තත්වයේ පවතින බවත්, නුවරඑළියේ පාරවල් හදනකොට එහි ජනතාවට කුඩම්මාගේ සැලකිළි නොදක්වන ලෙසත්, දිස්ත්‍රික්කයේ පාරවල් හදනවිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොවුණහොත් මීළඟ ඡන්දයේදී යම්කිසි දෙයක් සිදු වුවහොත් එහි වගකීම තමන්ට බාර ගත නොහැකි බවත් විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා අද (11) පස්වරුවේ මස්කෙළිය “අචිනිකා” උත්සව ශාලාවේදී  පැවසීය.

නව අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව මස්කෙළිය ප්‍රදේශයේ ජනතාව විසින් පැවැත් වූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරවල් සංවර්ධණය කරකොට වතුකරයේ ජනතාව කියල කොන් කරන්න එපා. ඒ අයගේ ආර්ථිකය දියුණු කර ජන ජීවිතය නගා සිටුවන්න පාරවල් අත්‍යාවශ්‍යයයි. ඒ පාරවල් හදන්න විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේ කරන්නේ නැතිනම් මීළඟ ඡන්දයේදී කිසියම් දෙයක් සිදුවුවහොත් එහි වගකීම අපිට බාර ගන්න බෑ. ඒක තමයි නුවරඑළියේ තිබෙන තත්වය. මස්කෙළිය ප්‍රදේශයේ පාරවල් ගොඩක් අබලන් තත්වයේ පවතිනවා. ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වෙලා දැන් මාස දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා. තවමත් ඒ පාරවල්වල වළවල් ටිකවත් වහලා නෑ. ඒ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරවල් සම්බනධව අපි විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී අමාත්‍යවරයා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ  මහජන පුස්තකාලයට හා මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පොත් තොගයක් බෙදා දීමද සිදු කළේය.

මෙම අවස්ථාවට මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්.රාජවීරන් මහතා, එම ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්, නිලධාරීන් ඇතුලු වතු කම්කරුවන්  පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



3 COMMENTS

Comments are closed.