පාර්ලිමේන්තුවේ 225ටම ජනතාව විශ්වාසභංගයක් ගේන දවස වැඩි ඈතක නෑ!

35

ත‍්‍රස්තවාදය මැඩලීමේ නව නීති සම්පාදනය නොකළහොත් පාර්ලිමේන්තුවේ 225 ටම ජනතාවගෙන් විශ්වාස භංගයක් එල්ල වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

කිඹුලාවල මංසන්දියේ ඉදිකරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රිෂාද් බදුර්දීන් ඇමතිතුමාට විරුද්ධව විපක්ෂයේ පිරිසක් විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා. ඒ පිළිබඳව කතානායකතුමා සුදුසු පියවර ගනී. විශේෂයෙන්ම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරිම් කාරක සභාවක් ඇතිකර ඔහුට විරුද්ධව තිබෙන චෝදනා විධිමත්ව විභාග කරන්න  ඕනේ. ඒ චෝදනාවලින් එතුමා වැරදි කාරයෙක් උනොත් එතුමාට ධුරයෙන් පමණක් නෙමෙයි, එතුමාට නීතිමය වශයෙනුත් කටයුතු කරන්න වෙයි. ඒ වගේම එතුමා නිවැරදි කාරයෙක් උනොත් එතුමාට ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. කෙසේ වෙතත් වඩා වැදගත් වෙන්නේ අපි මේ රටේ නීති ප‍්‍රතිපාදන වහාම සකස් කරන්න  ඕනේ මේ රටේ ත‍්‍රස්තවාදයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1978 ගෙනාවේ. ඒ අවස්ථාවේදී ත‍්‍රස්තවාදියා නමින් යම් අර්ථ දැක්වීමක් තිබුණා. ඒක අද දිනයට වඩා පුළුල් අර්ථ දැක්වීමක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ත‍්‍රස්තවාදීන් මර්ධනය කරන්න ඒවාට ගැටගැහිච්ච සංවිධාන මර්ධනය කිරීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව නීති සම්පාදනය කර ගත යුතු වෙනවා, ඒක තමයි ප‍්‍රධාන කාරණය.”

“ඒ වගේම අපි දන්නවා නොයෙක් ආයතන, ෂරියා විශ්ව විද්‍යාල, මද්රාසා වැනි ආයතන ඒ ආයතන ඇත්ත වශයෙන්ම ස්වාධිනව පවත්වාගෙන යන්න බැහැ. විශේෂයෙන්ම මඩකලපුවේ ඇතිකර තිබෙන ඒ විශ්ව විද්‍යාලය, ඒක පුද්ගලික ආයතනයක් හැටියට හෝ ගෙන යාම සුදුසු නැහැ. ඒක අනිවාර්යයෙන්ම රජයේ විශ්ව විද්‍යාලයක් හැටියට ජනසතු කරලා පවත්වාගත යුතුයි. ඒ වගේම මද්රාසා ආයතන ඒවා වෙනම පවත්වාගෙන යන්නත් බැහැ. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් කරගෙන යාමත් සුදුසු වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් පිරිවෙන් අධ්‍යාපනය නියාමනය කරනවා සේ සිදුවිය යුතුයි. මොකද මේ ස්ථානවල විදේශ ගුරුවරු ඉන්නවා. කුරාණයට විවිධ අදහස් ලබාදෙනවා. ඒ අදහස් මත පදනම් වෙලා විවිධ පිරිස් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට යොමුවන බව අපට පෙනී යනවා. ඒ නිසා මේ රටේ අනෙකුත් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන කි‍්‍රයාදාමය මත සිදුකළ යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් අපි ඉදිරියේ කටයුතු කරනවා.”

“ඒ වගේම මේ රටේ සංස්කෘතිය, අපි හැමෝම පිළිගන්න  ඕනේ. රට තුළ සුවිශේෂී නීති, ෂරියා නීතිය වේවා වෙනත් නීති,වෙනත් ආයතනවල පවත්වාගෙන යන්න බැහැ. රටේ එක නීතියක් තිබිය යුතුයි. ඒ වගේම අපේ අඳුම්පැළඳුම්වලින් අපි ලාංකික වෙන්න  ඕනේ. අපේ හැදියාවෙන් අපි ලාංකික වෙන්න  ඕනේ. විදේශ රටවල්වල සංස්කෘතීන් නොයෙක් ආකාරවලට අපි අනුකරණය කරනවා නමුත් අපි මේ රටේ ඉන්නේ. ඒ නිසා තමයි අපි යෝජනා කර තිබෙන්නේ ආරාබියක් වෙන්න බැහැ. ලංකාවේ කොටස් ඒ රටේ කොටස් බවට පත් වෙන්න බැහැ.  ඒ නිසා මම හිතනවා අපේ මුස්ලිම්වරු තමන්ගේ සමාජය තුළින්ම, රටේ නීති පද්ධතිය තුළත්, බුර්කාව වේවා, ඒ වගේම අරාබි ඇඳුම් පැළඳුම් වේවා. ඒවා පොදු අවස්ථාවලදී පරිහරණය නතර කිරීම සඳහා අවශ්‍ය කරන නීති රීති රටට අවශ්‍යයි. ඒ වගේම අරාබිකරණය වෙච්ච මුස්ලිම් ප‍්‍රජාවක් නෙමෙයි අපට  ඕනේ, ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාවක්. ඒක නිසා තමයි මම ප‍්‍රකාශ කලේ මක්කම දිසාවට හැරිලා වැන්දට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි ශ‍්‍රී ලංකාව තුළ දෙපයින් හිටගත්ත මුස්ලිම් ජනතාවක් රටට අවශ්‍යයි.”

“ඒ වගේම විවිධ මතවාද, විශේෂයෙන් රැඩිකල්, කුරාණයට විවිධ අර්ථකතන දීලා අන්‍යආගමිකයින් හෙළා තලා දමන ජාතියේ මතවාද ඒවා පාලනය කිරීම සඳහා නව නීතිරීති අවශ්‍යයි.  ඒ වගේම බෞද්ධකම ඉතාම නින්දිත විදිහට යොදාගෙන අන්‍යාගමිකයන්ට හිරිහැර කරන්න, තාඩ විදිහට හැසිරෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ අය සම්බන්ධයෙනුත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. ඒ සඳහා ඉදිරි කාලයේදී නීති ප‍්‍රතිපාදන වහාම තැනීමට මේ ඉදිරි මාසය, හමාර ඇතුළත ඒ නීති පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම සඳහා අපි කැපවීමෙන් කි‍්‍රයාකළයුතු බව ප‍්‍රකාශ කළ යුතුයි.”

“මේ ඇති වූ ප‍්‍රශ්නයේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. විශේෂයෙන්ම අපේ ආරක්‍ෂක අංශ, බුද්ධ සේවා අංශය මේ කෙටි කාලය ඇතුළත මෙය මර්ධනය කිරීම සඳහා කටයුතු කලා නමුත් ඒක ප‍්‍රමාණවත් නැහැ. අනාගතයේ මෙවැනි දෑ ඇතිවීම  වැලැක්විය යුතුයි. මේ සහරාන්ගේ කල්ලිය මර්ධනය කිරීමෙන් විතරක්  වැඩක් වෙන්නේ නැහැ. මෙහි අක්මුල් සොයා ගන්න  ඕනේ. ඒ වගේම ඒවා නැවත ඇතිවීම වලක්වන්න අවශ්‍ය නීති ප‍්‍රතිපාදන සහ අනෙකුත් දෑ අපි පක්ෂ භේදයෙන් තොරව හැකි ඉක්මනින් සම්මත කර ගත යුතුයි. එහෙම නැති උනොත් මුළු පාර්ලිමේන්තුවේ  225ට ම විශ්වාස භංගයක් එයි ජනතාවගෙන් මේවාට අවශ්‍ය කරන නීති රීති සම්මත කරලා ආරක්‍ෂක තත්වයන් විධිමත් කරලා රටේ මෙවැනි ප‍්‍රහාර ඇතිවන එක වැලැක්වූයේ නැත්නම්.”

“විපක්ෂය හිතාගෙන සිටියේ ඊළඟ ජනාධිපතිවරණය එනවා. දිව්රුම් දෙන්න වෙලාව හරි කියලා. ඒ අය අපට බය වෙලා නොයෙක් ප‍්‍රකාශ කරනවා අපි ඒවයින් සැලෙන්නේ නැහැ. අපේ අදහස නම් විපක්ෂ නායකතුමත්, ආරක්‍ෂක මණ්ඩලයට ගිහිල්ලා මේ ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමේ කටයුත්තට ජනාධිපති, අගමැති එක්ක හවුල් වෙලා කි‍්‍රයා කරන්න  ඕනෙයි කියලා.  ඒ අයගේ බියවීම ගැන අපි පුදුම වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ රටේ ජනතාව ගැන අපි විශ්වාස කරනවා. අපි නව වේදිකාවක් ඊ ළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් මේ රටේ ඇති කරන්න කටයුතු කරනවා.  මේ රටේ මහජනතාව තමයි එම වේදිකාව, පවුල්වාදයට, ගජමිතුරුවාදයට ඉඩ නොදෙන, නිපුණතාවයට, හැකියාවට මුල්තැන දෙන, මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන්, ආර්ථිකය පැත්තෙන්, සමාජමය පැත්තෙන් මේ රට තුළ උපන් ශක්තිමත් බලවේගයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරන්න ප‍්‍රජාතාන්ත‍්‍රික කඳවුරෙන් අපි ඉදිරිපත් කරනවා.”

“මේ රටේ ශිෂ්ඨාචාරය සිංහල කියන ඒ භාෂාව මෙරට තුළින්ම ඉපදිච්ච එකක්. වෙන රටවල්වලින් ආපු එකක් නෙමෙයි. මේ රටේ ශිෂ්ඨාචාරය හැඩ ගැසුනේ බෞද්ධ ශිෂ්ඨාචාරය මත ඒක නිසා තමයි අපේ රජවරු කවුරුවත් ආක‍්‍රමණවල නියැලූන්නේ නැත්තේ. ඒ ශිෂ්ඨාචාරයේ හැදියාව නිසා, කරුණාසම්පන්න ගුණය නිසා තමයි මුස්ලිම්, හින්දු, කතෝලික මේ හැම ප‍්‍රජාවකටම විවිධ ආක‍්‍රමණිකයින්ගෙන් ප‍්‍රශ්න ආවහම මේ රටේ ජීවත් වෙන්න ඉඩකඩ ලැබුණේ. සෙසු ජනතාව පාගා දැමීමක් බෞද්ධ දර්ශනයේ නැහැ. නමුත් අපි අනාගතයේ නවීනත්වයට ගැලපෙන නව ජාතියක් නිර්මාණය කර ගතයුතුයි. අපේ අතීත ශිෂ්ඨාචාරයේ මූලධර්ම පාවිච්චි කරමින්. මේ රටේ ශිෂ්ඨාචාරය සිංහලකම හා බෞද්ධකම මත තමයි ගොඩනැගී තිබෙන්නේ.”



35 COMMENTS

  1. It as not that I want to duplicate your web-site, but I really like the style and design. Could you tell me which style are you using? Or was it especially designed?

Comments are closed.