පාස්කු කමිටුවේ සමහර සාක්ෂිකරුවන් මෙතැන් සිට රහසිගතයි…….!

0
මින් ඉදිරියට සාක්ෂි විමසීමේ දී ඇතැම් සාක්ෂි කරුවන් ගේ අනන්‍යතාව හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම රහසිගතව සිදු කිරීමට අප්‍රේල් විසි එක් වෙනිදා සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා.

අදාල කාරක සභාව මෙම තීරණය ගෙන ඇත්තේ අද (19)  පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී.

ඒ අනුව ඇතැම් සාක්ෂි විමසීමේ දී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරීමට විශේෂ කාරක සභාව අද තීරණය කළ බව එහි සභාපති ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ ජාතික ආරක්ෂාවට අදාල සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව රහසිගතව රැස් වීමට තීරණය කළ බවයි.

මීට අමතරව අද දවසේ රැස්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක්ද සකස් කර තිබෙනවා.

කෙසේවෙතත් හෙට දිනයේ සාක්ෂි වීමසීමට නියමිතව තිබෙන්නේ සමස්ත ලංකා තවුහීද් ජමාත්  සහ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් යන සංවිධාන වලින්.