මම බාප්පාගේ මානසික අතවරයටත් හිරිහැරයටත් ලක් වුණා

0

පාසල් කාලය සිහිපත් කළොත්?

පස්වැනි වසර දක්වා මම ඉගෙන ගත්තේ දකුණු බටගම විද්‍යාලයේ. දෙවනුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසර දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සේ නිමලමරියා බාලිකා විද්‍යාලයෙන් තමයි (කොන්වන්ට්) උසස් පෙළ හැදෑරුවේ.
පාසල තමයි මගේ සිත නිවන ගුරුහරුකම් ලබපු තැන වුණේ. මොකද ගෙදර මට අපායක් වුණා. හේතුව තමයි අපේ ගෙදර පාලනය කළේ අම්මාවත් තාත්තාවත් ‍නෙවෙයි, බාප්පා නිසා. ගෙදර වැඩිමල් ගැහැණු දරුවා නිසා වැඩිහිටියන්ගේ වනචරකම් මට තේරුණා. හැබැයි මට ඒ තේරෙන එක ඒ අයට හිසරදයක් වුණා. ඒ නිසාම කුඩා කා‍ලේදීම මම බාප්පාගෙන් මානසික අතවරයටත් හිරිහැරයටත් ලක් වුණා. ඉතින් ඒ නිසා ඒ දවස්වල මම කරන්නේ ඉස්කෝලෙන් පස්සේ තියෙන විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා හවස් වෙලා ගෙදර එන එක. අන්තිමේදී මට ගෙදරින් සිදුවෙන අකටයුතුකම් ගැන සිස්ටර් ප්‍රින්සිපල්ට මම කිව්වා. ඇය මාව එක්ක ගෙන ගිහින් පල්ලියේදී ජේසුතුමා ඉදිරියේ මගේ දුක කියන්න ඉඩ සැලැස්සුවා. ඒකෙන් මගේ හිතට ලොකු සහනයක් ලැබුණා. මෑතකදී මම ලියපු ‘පුනරුක්ති’ කියන මගේ ජීවිත කතාවේ පළමු කොටසේදී මම මේ සේරම දේවල් ලියලා තියෙනවා.

පාසල් කා‍ලේදී මුහුණ දීපු අමතක නොවන සිදුවීම?

වයස අවුරුදු පහළොවේදී උසස් පෙළ කරන්න ඉන්දෙද්දී බාප්පාගේ උසිගැන්වීම පිට මගේ අම්මයි තාත්තයි මාව ගෙදරින් පිටමං කළා. ඒ සිදුවීම කුඩා ගැහැනු ළමයෙක් හැටියට මට දරා ගන්න බැරිවුණා. මහා ගංගාවක් වගේ මම ඇඬුවා. ඒ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත් වෙන ගෑනු ළමයෙක් නම් සියදිවි නසා ගන්නවා. එහෙමත් නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. ඒත් අන්තිමේදී මම හිතාගත්තා මේ අභියෝගය ජයගන්න නම් උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන්නම ඕනේ කියලා.

ඉතින් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් වුණාද?

උසස් පෙළ විභාගයේදී මට ඒ1 යි ඛි 3ක් ලැබුණා. උසස් පෙළ විභාගයට මුහුණ දීලා කලා විෂයන්ගෙන් මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. මට ඕනෑ වුණා ප්‍රතිඵලය අරගෙන ගිහින් ගෙදර අයට පෙන්නන්න. ඒ අය මාව කෙස් වැටියෙන් අල්ලලා එළියට විසි කෙරුවත් මගේම ධෛර්යයෙන් හා උගත්කමින් මම විභාගේ පාස් වුණ බව කියන්න. ඒ කා‍ලේ මාව නවත්තලා තිබුණේ මහල්වරාවේ ආච්චිලාගේ ගෙදර. ඇඳුම් සූට්කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මම අම්මලාගේ ගෙදර ගියා. ඒ යනකොට හවස් වෙලා. ගෙදරට ගිය ගමන් අම්මා තාත්තා මගෙන් ඇහුවේ “ඇයි උඹ ගෙදර ආවේ” කියලයි. බාප්පා කේන්තියෙන් ජනෙල් වීදුරුවක් බිඳලා “කවුද මේකිට ගෙදර එන්න දුන්නේ” කියලා ඇහුවාම කිව්වා “මම උසස් පෙළ පාස්වුණා, විශ්වවිද්‍යාලයටත් තේරුණා” කියලා. ඒත් ඒක ඒ අයට එතරම් වැදගත් දෙයක් හැටියට පෙනුණේ නැහැ. ඇත්තටම ඒ තුන් දෙනා ලිංගික ගින්නක දැවි දැවී හිටියේ. රාත්‍රිය ගත කරන්න විතරයි මට ගෙදර ඉන්න පුළුවන් වුණේ. පහුවදා පාන්දර කෝච්චියෙන් මගේ සූට් කේස් එකත්, ප්‍රතිඵල ‍ලේඛනයත් අරගෙන මට ආපහු හැරෙන්න සිද්ධ වුණා.

විශ්වවිද්‍යාල ජීවිතය ගෙවුණේ මොන විදිහටද?

විශ්වවිද්‍යාලයේදී හුඟක් යාළු මිත්‍රයන් හම්බ වුණා. ඒක මගේ හිතට සහනයක් වුණා. මම කලා සංගමයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වුණා. නාට්‍ය තරගවලින් මම හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. සුගතපාල ද සිල්වා, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් අතින් මට සහතික සම්මාන ලැබුණා. මගේ දුක්ඛිත ජීවිතයට නාට්‍ය කලාව දිව ඔසුවක් කියලා ඒ කා‍ලේ මට වැටහුණා. ඒ වකවානුවේදීම ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳුණා. එහි ශිෂ්‍ය නායකයා වුණේ දයා පතිරණ. ඔහුගේ නායකත්වය යටතේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාල තුළ කිසිදු පක්ෂයකට ගැති නොවී කිසිදු පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව හිඳිමින් තමුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරම සිසු අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ කොහොමද කියලා අපි සැම දෙනාටම කියා දුන්නේ පතිරණ සහෝදරයා. මේ කාලෙදීම තමයි මම සෝවියට් මිත්‍රත්ව සංගමයේ නාට්‍ය කලා වැඩමුළුවට සම්බන්ධ වුණේ.

මේ වැඩමුළුවේ අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධන, දේශකවරු හැටියට සහභාගි වුණේ පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, වසන්ත විට්ටච්චි, මාව මේ වැඩමුළුවට යොමු කළේ විශ්වවිද්‍යා‍ලේම අයියා කෙනෙක් වන සමන් පුෂ්පලියනගේ. නාට්‍ය කලා වැඩමුළුවෙන් පස්සේ ඩග්ලස් සිරිවර්ධනගේම හිට්ලර් නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. මම කවදාහරි නිළියක් හැටියට ඉදිරියට යනවා කියලා හිතා ගත්තේ මෙම වැඩමුළුවේදී ලබපු අධ්‍යාපනය නිසා.

ප්‍රේමය ගැන ලබපු පළමු අත්දැකීම?

උසස් පෙළ ලියන්න පන්තිවලට යනකොට මට හම්බ වුණා පිරිමි ළමයෙක් උපුල් කියලා. ඔහු මට ‍පොත් පත් සපයා දීමෙන් ගොඩක් උදව් කළා. ඒ හින්දාම ඔහු මං කෙරෙහි ඇල්මක් ඇති කරගෙන මට ආදරෙයි කිව්වා. ඔහු ගැන විශේෂ හැඟීමක් ගැහැනු ළමයෙකු හැටියට මට නොතිබුණත් මමත් ඔහුට කැමතියි කියලා කිව්වා. කොහොම හරි විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මම සමත්වුණා. ඔහු අසමත් වුණා. මම විශ්වවිද්‍යාලයට ගියා. ඔහු හමුදාවට බැඳුණා. තවමත් මගේ කලා ජීවිතය පිටුපස්සේ ඉඳන් මාව ආරක්ෂා කරන්නේ ඔහුයි.

ඔබේ විවාහය සිදුවුණේ කොහොමද?

විශ්වවිද්‍යාල අධ්‍යයන කාලයේදී මට හමුවුණු පෙම්වතා දරපු දේශපාලන මතය නිසා මටත් ඔහු දරපු අදහස් වක්‍රාකාරව දරන්න පෙළඹවීම් ඇති කළා. ඒ කා‍ලේ ප්‍රේමය, සමාජවාදී, කලාව, රතු දේශපාලනය, එකට පටලැවිලා ගිනියම් වෙලා ඔළුව ඇතු‍ලේ කැකෑරෙන්න පටන් ගත්තා. ඒ කා‍ලේදීම තමයි පෙම්වතා හදපු නාට්‍යවල රඟපෑමටත් මම යොමු වුණේ. ඇත්තටම සමාජවාදී කලාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රේමය කියන්නේ මොනවද කියලා තේරුම් බේරුම් කරගන්නවාට වැඩිය ඒ දවස්වල වේගයෙන් ගහගෙන යන හිතිවිලි එක්ක ‍පොර බඳිමින් අත්දැකීම්වලට මුහුණ දුන්නා කිව්වොත් තමයි හරි.

කොහොම හරි විශ්වවිද්‍යාලයේදී ඇතිවුණු ඒ ප්‍රේමය විවාහයක් දක්වා දුරදිග ගියා.

ඒ කා‍ලේ ගැහැණු ළමයෙක් හැටියට මම විශ්වාස කළේ ඔහුවයි. ඔහුත් එක්ක අපි දෙන්නාගේම වැරදි හදාගෙන කලාවෙන් සමාජවාදී දේශපාලනයක් කරන්න දැඩි අධිෂ්ඨානයකින් මම කටයුතු කළා. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළා. දරදිය ඇද්දා. ඒ අතරේ මරණාසන්න අත්දැකීම්වලටත් මුහුණ දෙන්න සිදුවුණා.

ඔබ වෘත්තීය නිළියක් බවට පත්වුණේ?

මම රඟපෑ වේදිකා නාට්‍ය වන හෙනා, මාඝාත, මකරාක්ෂයා, හිට්ලර්, ඊඩිපස්, ඊළඟට ටෙලිනාට්‍ය ප්‍රභාතය, දුන්හිඳ අද්දර, දියකැට, පහණ, සිත්තමින් සිහින, මේ නිර්මාණවල මම රඟපෑ චරිත උපරිම කුසලතාවයෙන් කළා කියන එක ඒවා නරඹපු මේ රටේ ජනතාව තීරණය කළා. ඒත් ක්‍රමානුකූලව මට තේරුණු දෙයක් තමයි පෙම්වතා සැමියා බවට පත්වීමේදී හා ඔහුගේ සමාජවාදී කලාවට දරදිය ඇදීමේදී ඔහුගේ වෘත්තීය ගොඩනංවා ගත්තාට, මගේ වෘත්තීය ඔහු පෙරළා අගය කරන්නේ නැහැ කියන එක. ඒත් එක්කම සමාජවාදයේ ප්‍රධානම ගුණාංගයක් වන සමානාත්මතාවය කලාවේදීවත්, විවාහ ජීවිතයේදීවත් ඉෂ්ඨ වෙන්නේ නැති වග මට තේරෙන්න පටන් ගත්තා. ඔය අතරේදී තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ සමාජවාදී කලාව වෙනුවෙන් අපි සමග සාමූහික වුණු කලාව කරපු කණ්ඩායම කලකිරීමෙන් ඈත් වෙන්න පටන් ගත්තේ.

ඇයි එවැන්නක් වුණේ?

කලාකරුවා සමාජවාදී කිව්වාට ඔහුගේ කලාව අග නගරයේදීත් විදෙස් රටවලත් ඇගයීමට ලක් කර ගන්න නම් කලාව මාකට් කරන්න වුණා. එතකොට ඒ සඳහා නිෂ්පාදන කළමනාකාරිනියක් මැදිහත් වුණා. ඇය තමන්ගේ වැඩේ විතරක් ‍නෙවෙයි අපේ ගෙදර ටොයිලට් එකට ටයිල් අල්ලන වැඩෙත් කරන්න වුණා. ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයන් නොදියුණු මිනිස්සු හැටියටත් වර්ග කරන්න වුණා. ඉතින් ඒ නිසා සාමාජිකයොත් හැලෙන්න පටන් ගත්තා. මම බිරිඳ නිසා අවසානයේදී මාව විතරක් ඉතිරි වුණා. ඒත් සමාජවාදී කලාව නේද? සැමියා නේද? කලාකරුවා නේද? දරුවෝ නේද? කියලා හිතන සාම්ප්‍රදායික ගැහැනියක් බවට පත්වෙලා, මම ඉවසාගෙන සිටියා. ඔය කාලෙදි තමයි ‘තනි තටුවෙන් පියාඹන්න’ කියන චිත්‍රපටය නිර්මාණය වුණේ.

මගේ වෘත්තිය ඇතු‍ලේ මගේ දායකත්වය අගය කළ යුතු මට්ටමේ මිල කළ යුතු මට්ටමේ රඟපෑමක් බව ඒ චිත්‍රපටයේ රංගනයෙන් මම ඔප්පු කළා. ඒ වාගේම මේ රටේ මානසිකව කායික දුක් විඳින ගැහැනුන්ට දිරියක් දෙන්න මම මගේ නිරුවතත් මේ චිත්‍රපටයට කැප කළා. හැබැයි ඒ වෙනකොට නිෂ්පාදන කළමනාකාරිනිය මගේ සැමියාගේ වෘත්තීය ජීවිතයත් ඔහුගේ ආත්මයත් අත්අඩංගුවට පත් කරගෙනයි තිබුණේ. ඉතින් මම පමණක් ‍නෙවෙයි අපි නියෝජනය කරපු සමාජවාදී දේශපාලන පක්ෂය පවා නිල වශයෙන් මේ තැනැත්තියට දැනුම් දුන්නා මේ කලාකරුවාගේ කලාවට අත නොතබන ලෙසට.

ඊට පස්සේ මොකද වුණේ?

සිදුවුණු දේවල් මුළු රටම දන්නවා. අවාසනාවන්ත ලෙස අපේ විවාහය දෙදරා ගියා. ඔවුන් දෙදෙනා අපේ නිවසින් මා එළවා දමන්නට සැලසුම් කළා. ඊළඟට සැලසුම් කරලා චිත්‍රපටයෙන් මා ඉවත් කළා. අවසානයේදී මම කුඩා කාලයේදී වගේ සූට්කේස් එකක ඇඳුම් ටික දමාගෙන එළියට බැස්සා.

රිද්ම – කිෂාන් කනංකෙ

News_all

anoma janadarai 1