රැකියා වෙළඳපොළට පිවිසෙන උගත් ශ්‍රි ලාංකික තරුණයන් 100 දෙනෙකුගෙන් 43 දෙනෙකුම රැකියා විරහිතව ඇති බව IMF වාර්තා කරයි.ඒ අනුව ආසියාව පුරා තරුණ රැකියා විරහිතභාවය ඉහළ මට්ටමක පවතින නමුත්, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයින් අතර එය බොහෝ විට ඉහළම අගයක් ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශ්ලේෂණයකින් ඉස්මතු කරන ලද ආසියානු ආර්ථිකයන්හි ඉහළ උගත් තරුණයින් අතර ඉහළම විරැකියා අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව සදහන් කර තිබේ.ආසියාවේ තරුණ විරැකියාව පිළිබඳ පර්යේෂණයක කොටසක් ලෙස මෙම සොයාගැනීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ‘Finance & Development’ සඟරාවේ සැප්තැම්බර් කලාපයේ පළ කරන ලදී.
IMF විසින් අධ්‍යයනයට ලක් කළ දකුණු ආසියානු ආර්ථිකයන් තුන අතරින්, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණයන් අතර ඉහළම විරැකියා අනුපාතය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි (ආසන්න වශයෙන් 43%); ඉන්පසු ඉන්දියාව (ආසන්න වශයෙන් 42%) සහ බංග්ලාදේශය (ආසන්න වශයෙන් 36%) එම ලැයිස්තුවේ පසුවෙයි.
මෙම සංසන්දනයට ඇතුළත් කර ඇති අග්නිදිග ආසියානු ආර්ථිකයන් බොහොමයකට සාපේක්ෂව මෙම රටවල් තුනෙහි අදාළ අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.මේ අතර, සමස්ත තරුණ විරැකියා අනුපාතය ඉන්දියාවේ 18%ක් සහ ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 22%ක් ලෙස පවතී.
සමස්ත තරුණ විරැකියාව සහ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණයන් අතර පවතින විරැකියාව අතර පරතරය ද මෙම කලාපය පුරා දැකගත හැකිය.
ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණයන් අතර විරැකියා අනුපාතය ඉන්දුනීසියාවේ 18%ක්, වියට්නාමයේ 16%ක්, මැලේසියාවේ සහ තායිලන්තයේ 13%ක් සහ පිලිපීනයේ 12%ක් ලෙස පවතී. සිංගප්පූරුව 8%ක පමණ සැලකිය යුතු ලෙස අඩු අනුපාතයක් වාර්තා කරයි.
අග්නිදිග ආසියාවේ ද, අඩු අධ්‍යාපන මට්ටමක් ඇති තම සම වයසේ අයට සාපේක්ෂව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ සේවකයන් ඉහළ විරැකියාවකට මුහුණ දෙන නමුත්, එහි පවතින නිරපේක්ෂ අනුපාත දකුණු ආසියාවට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩුය.
උදාහරණයක් ලෙස, තායිලන්තයේ පසුගිය වසරේ වයස අවුරුදු 15-24 අතර පුද්ගලයන්ගෙන් 3.9%ක් විරැකියාවෙන් පෙළුණු අතර, එම වයස් කාණ්ඩයේම පශ්චාත්-ද්විතීයික අධ්‍යාපනය (උසස් අධ්‍යාපනය) ලැබූ තායිලන්ත ජාතිකයන් අතර එම අනුපාතය 13%ක් ලෙස තුන් ගුණයකින් ඉහළ අගයක් ගත්තේය.
ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ සේවකයන්ට තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට අපහසු වීම හේතුවෙන් ඇති වී තිබෙන මෙම පුළුල් තත්ත්වය IMF විසින් “උපාධිධාරීන්ගේ අතිරික්තයක්” (graduate glut) ලෙස විස්තර කරන ලදී.
“ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ සේවකයන්ට තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට අපහසු වී තිබෙනවා,” යනුවෙන් IMF හි ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.















Leave a Reply