විශේෂ විමර්ශන වාර්තාව | 2026 ඔක්තෝබර් 20 මේ අනුරාධපුර පූජා නගරයේ යෝජිත රාම කෝවිල, රාමායණ සංචාරක ව්යාපෘතිය, මන්නාරම හරහා ඉන්දියාවට ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීමේ සැලසුම්, දුම්රිය හා බලශක්ති ඒකාබද්ධතාව සහ 13 වැනි ව්යවස්ථා සංශෝධනය වටා ගොඩනැඟෙන ප්රශ්න පිළිබඳ විශේෂ භූදේශපාලන විමර්ශනයකි.
‘රාමායණ මාවත’ (Ramayana Trail) යනු, හින්දු වීර කාව්යයක් වන රාමායණය හා සම්බන්ධ, දිවයින පුරා විසිරී පවතින ඓතිහාසික සහ පුරාවෘත්තීය ස්ථාන 50කට අධික සංඛ්යාවක් යා කරන, පූජනීය වන්දනා සහ සංචාරක මාර්ගයක් ලෙස ඔහුන් හදුන්වයි.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර සබඳතා තවදුරටත් සාම්ප්රදායික රාජ්යතාන්ත්රික සහ වෙළෙඳ ගනුදෙනුවලට පමණක් සීමා නොවන බව පැහැදිලිය. ආගමික සංචාරක ව්යාපෘති, ප්රවාහන මාර්ග, වරාය, බලශක්ති පද්ධති, ඩිජිටල් ගෙවීම්, ආයෝජන සහ ආරක්ෂක සහයෝගිතාව එකිනෙකට සම්බන්ධ කරමින් නව කලාපීය සබඳතාවක් ගොඩනැඟෙමින් තිබේ.එම ක්රියාවලිය ශ්රී ලංකාවට ආර්ථික අවස්ථාවක් විය හැකි නමුත්, නිසි පාර්ලිමේන්තු අධීක්ෂණයක්, මහජන විනිවිදභාවයක් සහ ජාතික ආරක්ෂක ඇගයීමක් නොමැතිව ක්රියාත්මක වුවහොත්, ශ්රී ලංකාවේ ස්වාධීන ප්රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව සීමා වීමේ අවදානමක්ද මතු කරයි.
විශේෂයෙන්ම අනුරාධපුර පූජා නගරය ආශ්රිතව රාම කෝවිලක් ඉදිකිරීම පිළිබඳ මතුව ඇති ප්රකාශ, ශ්රී ලංකාවේ රාමායණ සංචාරක ස්ථාන ජාලය සහ ඉන්දු–ලංකා භෞතික සම්බන්ධතාව පිළිබඳ සැලසුම් එකට සලකා බැලීමේදී වැදගත් ප්රශ්නයක් පැනනඟී.
ඉන්දියාව ශ්රී ලංකාව සමඟ අන්යෝන්ය ප්රතිලාභ සහිත සම්බන්ධතාවක් ගොඩනඟන්නේද, නැතහොත් ශ්රී ලංකාවේ ආර්ථික, ආගමික හා උපායමාර්ගික තීරණ කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කරගැනීමට උත්සාහ කරන්නේද?
1. රාමායණ සංචාරක මාර්ගය: ආගමික උරුමයක්ද, සංස්කෘතික බලපෑම් උපායමාර්ගයක්ද?
ශ්රී ලංකාවේ රාමායණ කතා පුවතට සම්බන්ධ යැයි සැලකෙන ස්ථාන සංචාරක ගමනාන්ත ලෙස ප්රවර්ධනය කිරීම අලුත් සංකල්පයක් නොවේ. ඉන්දියානු සංචාරකයන් ඉලක්ක කරගත් Ramayana Trail වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ ශ්රී ලංකාවේ සංචාරක ප්රවර්ධනයේ කොටසක් වී තිබේ.සීතා එළිය, රාවණා ඇල්ල, මුන්නේස්වරම, දිවුරුම්පොළ ඇතුළු ස්ථාන රාමායණ කතාව හා සම්බන්ධ සංචාරක මාර්ගවල නිතර සඳහන් වේ.
ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව මෙවැනි ස්ථාන 21ක් හඳුනාගෙන ඇති බව පැවසේ. එහෙත් විවිධ සංචාරක මාර්ගවල ස්ථාන සංඛ්යාව වෙනස් වන අතර, එම ස්ථාන සියල්ලෙහිම අලුතින් ඉදිකිරීම් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැත.
මෙහිදී වෙනම කරුණු තුනක් විමසා බැලිය යුතුය.
-
රාමායණ කතාවට සම්බන්ධ බවට ආගමික සම්ප්රදාය මත හඳුනාගත් ස්ථාන සහ පුරාවිද්යාත්මකව තහවුරු වූ ස්ථාන එකම කාණ්ඩයකට ඇතුළත් කළ හැකිද?
-
සංචාරක ව්යාපෘති සඳහා රජයේ ඉඩම්, පුරාවිද්යා රක්ෂිත හෝ පූජා භූමි භාවිත කරන්නේ නම් අනුමැතිය ලබාදෙන්නේ කවර ආයතනද?
-
සංචාරක ආදායම, ඉඩම් පාලනය, යටිතල පහසුකම් සහ ව්යාපෘති කළමනාකරණය ශ්රී ලංකාවේ ආයතන සතුව පවතින්නේද?
ඉන්දියාවේ සංස්කෘතික හා ආගමික උරුමය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කිරීම ස්වයංක්රීයව දේශපාලන ආධිපත්යයක් නොවේ. එහෙත් එය රාජ්ය අනුග්රහය සහිත යටිතල පහසුකම් හා ඉඩම් ව්යාපෘති සමඟ ඒකාබද්ධ වුවහොත්, එහි දිගුකාලීන ප්රතිවිපාක පිළිබඳ ප්රශ්න කිරීම සාධාරණය.
2. අනුරාධපුර පූජා නගරයේ රාම කෝවිලක්: 2026 සැප්තැම්බර් ගැසට්ටුවෙන් මතුවන ප්රශ්නය
අනුරාධපුරය යනු ශ්රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ප්රධානතම ඓතිහාසික මධ්යස්ථානයකි. ශ්රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, අභයගිරිය සහ ජේතවනාරාමය ඇතුළු පූජනීය ස්ථාන නිසා එහි පුරාවිද්යාත්මක හා ආගමික වැදගත්කම අතිවිශාලය.අනුරාධපුර පූජා නගරය තුළ නව රාම කෝවිලක් ඉදිකිරීම පිළිබඳ 2026 සැප්තැම්බර් ගැසට් නිවේදනයක් ඇති බව ඉදිරිපත් කර ඇති තොරතුරුවල සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ ගැසට් අංකය, දිනය, නියමිත ඉඩමේ විස්තර සහ නීතිමය ප්රතිපාදන තවමත් අපහට ලැබි නොමැතිව වුවත් නව කෝවිලක් ඉදිකිරීමට අවසන් රාජ්ය අනුමැතිය දැනටමත් ලබාදිමට එකඟතාව පලකර ඇති බව ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.එය අනුරාධපුරය බහුආගමික කලාපයක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි අතර සිදුවු රහසිගත තීරණයක් බවද තහවුරුය.
එම නිසම මෙවැනි ව්යාපෘතියක් යෝජනා කිරිම හුදෙක් ආගමික ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ප්රශ්නයකට සීමා නොවේ. පූජා නගරයේ සංරක්ෂණ සැලැස්ම, ඉඩම් හිමිකම, පුරාවිද්යා අනුමැතිය සහ ප්රදේශයේ ආගමික උරුමයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳවද විමසිය යුතුය.බුදුදහමට ප්රමුඛස්ථානය ලබාදෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ අනෙකුත් ආගම්වල නිදහස සුරක්ෂිත කරන ව්යවස්ථාමය විධිවිධාන දෙකම මෙහිදී අදාළ වේ.එබැවින් මෙහි මූලික ප්රශ්නය වෙනත් ආගමක පූජනීය ස්ථානයක් පැවතීම නොව, ඓතිහාසික පූජා නගරයක භූමි භාවිතය වෙනස් කිරීම සඳහා ගනු ලබන තීරණවල නීත්යනුකූලභාවය සහ විනිවිදභාවයයි.
‘ශ්රී රාමායණ මාවත’ (Sri Ramayana Trail) යනු ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ක්රියාත්මක වන ඒකාබද්ධ ද්විපාර්ශ්වික සංචාරක සහ සංස්කෘතික රාජ්යතාන්ත්රික වැඩසටහනක් සේ මතුපිට පෙනේ.
“රාමායණ මාවත – පූජනීය මෙහෙවර” (Ramayana Trail – The Sacred Mission) ලෙස නම් කර ඇති මෙම වැඩිදියුණු කළ වැඩසටහන, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අයෝධ්යාවේ රාම් මන්දිරය (Ram Mandir) හා සම්බන්ධ ආගමික නායකයින්ගේ සහාය ඇතිව ශ්රී ලංකාවේ කොළඹ දී නිල වශයෙන් දියත් කරන ලදී.
මූලික අරමුණ ලෙස පෙන්වා ඇත්තේ : රාමායණ වීර කාව්යයට සම්බන්ධ ශ්රී ලංකාව පුරා පිහිටි පූජනීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්රවර්ධනය කිරීම තුළින්, ඉන්දියානු සහ ජාත්යන්තර හින්දු බැතිමතුන් ආකර්ෂණය කර ගැනීම බවයි.
ඇතුළත් ප්රධාන ස්ථාන: මෙම මාවත මන්නාරම් ද්රෝණියේ පිහිටි ‘ආදම්ගේ පාලම’ (Adam’s Bridge) සිට නුවරඑළියේ ‘සීතා එළිය’ දක්වා විහිදෙන අතර, ඊට අශෝක වාටිකාව, දියුරුම්පොල, උස්සන්ගොඩ ජාතික වනෝද්යානය, රුමස්සල (ගාල්ල), කෝණේෂ්වරම් (ත්රිකුණාමලය), මනාවරි කෝවිල (හලාවත) සහ රාවණා ගුහාව (ඇල්ල) වැනි ස්ථාන ඇතුළත් වේ.
ඉන්දියාවේ ‘පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය’ (RAW) කියන්නේ කුමක්ද? ‘රාමායණ මාවත’ යන යෙදුම, ‘මෘදු බලය’ (soft-power) යොදා ගනිමින් ක්රියාත්මක රාජ්ය තාන්ත්රික ව්යාපෘතියක් වටා ගොඩනැගුණු භූ-දේශපාලනික මතභේදාත්මක සහ ප්රධාන සමුද්රීය නාවික ව්යාපෘතියක් බවයි.
උපුටා ගැන්ම ඉන්දියානු මතවාද ව්යාප්ත කිරිමේ වාර්තාව
“රාමායණය යනු අයෝධ්යාව පිළිබඳ කතාවකට එහා ගිය දෙයකි; එය ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින කාලාතීත සබඳතාව නිරූපණය කරන භූගෝලීය හා අධ්යාත්මික සිතියම්ගත කිරීමකි. මෙය පොදු උරුමයක් වන අතර, එහි සෑම කන්දක්, ගුහාවක් සහ දිය ඇල්ලක්ම එකම කතාවක් පවසයි; එහිදී මුහුද බාධකයක් ලෙස නොව, පාලමක් ලෙස ක්රියා කරයි.”
3. 2025 අප්රේල් ගිවිසුම් හත: ඉන්දියානු බලපෑම පුළුල් වන ප්රධාන ක්ෂේත්ර
මෙම විමර්ශනයේ වැදගත්ම ලේඛනගත සාක්ෂිය වන්නේ 2025 අප්රේල් 5 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්ර මෝදි ඉදිරියේ හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් හතයි.ශ්රී ලංකා ජනාධිපති කාර්යාලයද එම ගිවිසුම් හත පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ඒවා බලශක්තිය, ඩිජිටල්කරණය, ආරක්ෂාව, සෞඛ්ය සහ සංවර්ධන සහයෝගිතාව ඇතුළු ක්ෂේත්ර ආවරණය කරයි.මෙහි භූදේශපාලන වැදගත්කම වන්නේ එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොවී රටක අත්යවශ්ය පද්ධති කිහිපයක් තවත් රාජ්යයක සහයෝගිතාව මත ක්රියාත්මක වන තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවයි.
විදුලි සම්බන්ධතාව, ඩිජිටල් පද්ධති, වරාය සහ ආරක්ෂක සහයෝගිතාව යන ක්ෂේත්ර එකට සලකා බැලූ විට ශ්රී ලංකාවේ ආර්ථිකය තුළ ඉන්දියාවේ භූමිකාව තවදුරටත් පුළුල් කිරීමට නියමිත බව පැහැදිලිය.එහෙත් මෙය ඉන්දියාවට ශ්රී ලංකාවේ පාලන බලතල පවරාදීමක් බවට නිගමනය කිරීමට ගිවිසුම්වල සම්පූර්ණ නෛතික අන්තර්ගතය විමසා බැලිය යුතුය.
මෙහිදී රජය පිළිතුරු දිය යුතු ප්රශ්නය වන්නේ ගිවිසුම් හතක් අත්සන් කළේ ඇයිද යන්න පමණක් නොවේ. එම ගිවිසුම්වල අදාළ සියලු නියමයන්, අනාගත වගකීම්, දත්ත ආරක්ෂණ විධිවිධාන සහ ආරවුල් විසඳීමේ ක්රමවේද මහජනතාවට ප්රසිද්ධ කර තිබේද යන්නයි.වසර දෙකක මාලිමා ආණ්ඩුව යටතේ මේ දක්වා මෙම ගිවිසුම් රටට හෝ පාර්ලිමේන්තුවේ හෙලිකර නැත.
4. මන්නාරමෙන් ඉන්දියාවට පාලමක්: ආර්ථික සම්බන්ධතාවෙන් භූදේශපාලන යැපීමකට?
5. අනුරාධපුර දුම්රිය මාර්ගය: දැනටමත් ක්රියාත්මක ඉන්දීය සහයෝගිතාව
ඉන්දීය සහයෝගිතාව ශ්රී ලංකාවේ ප්රවාහන ක්ෂේත්රය තුළ ප්රායෝගිකව ක්රියාත්මක වන බවට පැහැදිලි උදාහරණයක් 2025 අප්රේල් 6 වැනිදා අනුරාධපුරයේදී දැකගත හැකි විය.
දුම්රිය මාර්ග නවීකරණය සඳහා :මහව–ඕමන්ත දුම්රිය මාර්ගය,ඉන්දීය සහයෝගයෙන් නවීකරණය කළ දුර 128 km ව්යාපෘති ආධාර US$91.27m -ඉන්දීය අගමැති කාර්යාලයේ 2025 අප්රේල් 6 නිල වාර්තාව අනුව.
එදිනම මහව සිට අනුරාධපුරය දක්වා සංඥා පද්ධතිය නවීකරණය කිරීමේ ව්යාපෘතියද ආරම්භ කරන ලදී. ඒ සඳහා ඉන්දීය ප්රදාන ආධාර ඇමෙරිකානු ඩොලර් මිලියන 14.89ක් ලෙස සඳහන් වේ.මෙම ව්යාපෘති උතුරු–දකුණු ප්රවාහන සම්බන්ධතාව ශක්තිමත් කිරීමට උපකාරී වන නමුත්, ඒවා මන්නාරමෙන් ත්රිකුණාමලය හා පොළොන්නරුව දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ සැලැස්මක් බවට සාක්ෂි නොවේ.ඉන්දීය ආධාර යටතේ නවීකරණය වන දුම්රිය පද්ධතියේ අයිතිය, මෙහෙයුම් පාලනය සහ නඩත්තු තීරණ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින්නේද යන්න මෙහිදී වැදගත් වේ.
6. ත්රිකුණාමලය: ඉන්දියාවේ බලශක්ති හා ඉන්දියානු සාගර උපායමාර්ගයේ මධ්යස්ථානයක්
රටක බලශක්ති ගබඩා, විදුලි සැපයුම, වරාය සහ ප්රධාන ප්රවාහන මාර්ග එකිනෙකට සම්බන්ධ විදේශීය ආයෝජන ජාලයක් මත අධික ලෙස යැපෙන විට, එම ආයෝජක රටට ආර්ථික සාකච්ඡාවලදී වැඩි බලපෑමක් ඇතිවිය හැකිය.ඒ නිසා ත්රිකුණාමලය සංවර්ධනය කිරීමේදී ශ්රී ලංකාවට හිමි කොටස්, ගබඩා භාවිත අයිතිවාසිකම්, ජාතික ආරක්ෂක සීමා සහ ගිවිසුම් අවසන් කිරීමේ බලතල පැහැදිලිව ප්රකාශ කළ යුතුය.
7. බලශක්ති හා ඩිජිටල් ඒකාබද්ධතාව: අනාගතයේ තීරණාත්මක යැපීම්
විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳ 2025 අවබෝධතා ගිවිසුම ශ්රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ආනයනය කිරීමට මෙන්ම විදුලිය අපනයනය කිරීමටද අවස්ථා ඇති කළ හැකිය.නමුත් ජාල සම්බන්ධතාවක් තිබීම සහ ජාතික විදුලි පද්ධතියේ පාලනය විදේශ රටකට පැවරීම එකම දෙයක් නොවේ.විදුලි ගනුදෙනු සඳහා මිල නියම කිරීම, හදිසි අවස්ථාවල සැපයුම් අත්හිටුවීම, ජාල ආරක්ෂාව සහ මෙහෙයුම් පාලනය වැනි කොන්දේසි මෙහිදී තීරණාත්මකය.එසේම ඉන්දීය ඩිජිටල් විසඳුම් ශ්රී ලංකාවට හඳුන්වාදීමේදී පුරවැසි දත්ත ආරක්ෂාව, දත්ත ගබඩා කරන ස්ථානය සහ පද්ධති කළමනාකරණ අයිතිය සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය ආරක්ෂාවක් අවශ්ය වේ.
ශ්රී ලංකාවට විදේශීය තාක්ෂණය භාවිත කිරීමේ අවශ්යතාවක් තිබිය හැකිය. එහෙත් එම තාක්ෂණය භාවිත කරන රටක් වීම සහ තාක්ෂණිකව වෙනත් රටකට පූර්ණ ලෙස යැපෙන රටක් වීම අතර සැලකිය යුතු වෙනසක් තිබේ.
8. ආරක්ෂක ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය ප්රසිද්ධ නොකළේ ඇයි?
ඉන්දු–ශ්රී ලංකා සබඳතාවේ වඩාත් සංවේදී අංශය ආරක්ෂක සහයෝගිතාවයි.2025 අප්රේල් මාසයේ අත්සන් කළ ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය දෙරටේ අන්යෝන්ය එකඟතාවකින් තොරව හෙළි කළ නොහැකි බව කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළේය.එම ප්රකාශය මගින් ශ්රී ලංකාවේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට වැදගත් ප්රශ්නයක් මතු කරයි.
ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ ගිවිසුමක කොන්දේසි මහජනතාවට හෙළි කිරීම සඳහා වෙනත් රාජ්යයක එකඟතාව අවශ්ය වන්නේ නම්, එහි පාර්ලිමේන්තු අධීක්ෂණය ක්රියාත්මක වන්නේ කෙසේද?
2025 මැයි මාසයේ පලකල වාර්තාවක ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ පිටපතක් ලෙස හඳුන්වාදුන් ලේඛනයක් ඇතුළත් විය. එහි හමුදා පුහුණුව, තාක්ෂණික සහයෝගිතාව, ආරක්ෂක තොරතුරු ආරක්ෂා කිරීම සහ ගිවිසුම අවසන් කිරීමේ කොන්දේසි සඳහන් විය. එම වාර්තාව අනුව ගිවිසුමේ මුල් කාලසීමාව වසර පහකි.එහෙත් එය දෙරටේ ආණ්ඩු විසින් සම්පූර්ණයෙන් සත්යාපනය කර ප්රසිද්ධ කළ පිටපතක් ලෙස සැලකිය නොහැක.
මෙහිදී ඉන්දියාව සමඟ ආරක්ෂක සහයෝගිතාව පැවැත්වීමේ අවශ්යතාව සහ ශ්රී ලංකාවේ ස්වාධීන ආරක්ෂක ප්රතිපත්තිය ආරක්ෂා කිරීමේ අවශ්යතාව අතර සමබරතාවක් තිබිය යුතුය.ඉන්දියාවට තම ජාතික ආරක්ෂාව පිළිබඳ සාධාරණ අවශ්යතා තිබෙන ආකාරයටම ශ්රී ලංකාවටද ඉන්දියාව, චීනය, ඇමෙරිකාව සහ අනෙකුත් රටවල් සමඟ ස්වාධීන සබඳතා පවත්වාගෙන යාමේ අයිතිය තිබේ.
9. රාමා සහ රාවණා: ඉතිහාසය, ද්රවිඩ දේශපාලනය සහ නූතන සංස්කෘතික බලය
ඉදිරිපත් කර ඇති 2008 වසරේ සී. විජයවික්රම විසින් රචිත Ravana’s Land and Tamil Nadu Politicians: A Brief History ලිපිය මෙම සාකච්ඡාවට වෙනස් ඓතිහාසික දෘෂ්ටිකෝණයක් එකතු කරයි.එහි මූලික තර්කය වන්නේ දකුණු ඉන්දියාවේ ද්රවිඩ දේශපාලන ව්යාපාරය, රාමායණ කතාවේ චරිත පිළිබඳ නැවත අර්ථකථනය සහ ශ්රී ලංකාවේ දෙමළ ජාතිකවාදී දේශපාලනය අතර ඓතිහාසික සම්බන්ධතා පැවති බවයි.විශේෂයෙන්ම ඊ. වී. රාමසාමි හෙවත් පෙරියාර් විසින් රාමායණය පිළිබඳ ඉදිරිපත් කළ විවේචනාත්මක අදහස් මෙහිදී වැදගත් වේ.සාම්ප්රදායික රාමායණ කතාවේ රාම වීර චරිතයක් ලෙස නිරූපණය වුවද, පෙරියාර්ගේ ද්රවිඩ සමාජ විවේචනය තුළ රාවණාගේ චරිතය වෙනත් දෘෂ්ටිකෝණයකින් අර්ථකථනය කෙරිණි.එය ආගමික කතාවක් දේශපාලන හා සමාජ අනන්යතාව පිළිබඳ සංවාදයකට පරිවර්තනය වූ ආකාරය පෙන්වයි.
ද්රවිඩස්ථාන් ව්යාපාරයේ ඉතිහාසය
2008 ලිපිය තුළ දකුණු ඉන්දියාවේ ද්රවිඩ දේශපාලනය පිළිබඳ කාලරේඛාවක් සඳහන් වේ.1910 දශකයේ දකුණු ඉන්දියාවේ බ්රාහ්මණ ආධිපත්යයට එරෙහි දේශපාලන සංවිධාන බිහිවීම, 1925 ස්වයං ගෞරව ව්යාපාරය, 1944 ද්රවිඩර් කසාගම් සංවිධානය සහ 1949 DMK පක්ෂය බිහිවීම එහි ප්රධාන අවස්ථා වේ.පසුව ඉන්දියාවේ 1963 ව්යවස්ථාමය සංශෝධනය සහ දේශපාලන වෙනස්කම් හේතුවෙන් DMK ව්යාපාරයේ වෙනම රාජ්යයක් පිහිටුවීමේ ඉල්ලීම අත්හැර දමන ලදී.මෙම ඉතිහාසය වැදගත් වන්නේ දකුණු ඉන්දියාවේ ප්රාදේශීය අනන්යතාව, භාෂා අයිතිවාසිකම් සහ මධ්යම ආණ්ඩුව සමඟ බලය බෙදාගැනීම පිළිබඳ ගැටුම් තේරුම් ගැනීමටය.
10. 13 වැනි සංශෝධනය සහ ඉන්දියාවේ දිගුකාලීන දේශපාලන භූමිකාව
ශ්රී ලංකාවේ බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාව ඉන්දියාවේ භූදේශපාලන භූමිකාවෙන් සම්පූර්ණයෙන් වෙන් කළ නොහැකිය.1987 ඉන්දු–ලංකා ගිවිසුම සහ ඉන් පසුව ඇති කළ 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ශ්රී ලංකාවේ පළාත් සභා ක්රමයට නීතිමය පදනම සැපයීය.එතැන් සිට පළාත් සභා, බලය බෙදාහැරීම සහ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය ශ්රී ලංකාවේ අභ්යන්තර දේශපාලන සංවාදයටද බලපා තිබේ.2025 අප්රේල් මාසයේදී නරේන්ද්ර මෝදි මහතා ශ්රී ලංකාවේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහ ව්යවස්ථාව සම්පූර්ණයෙන් ක්රියාත්මක කිරීම පිළිබඳ අපේක්ෂාව ප්රසිද්ධියේ ප්රකාශ කළේය.
We also discussed issues related to fishermen’s livelihood. We agreed that we should proceed with a humane approach in this matter. We also emphasised on immediate release of the fishermen and their boats.
We also talked about reconstruction and reconciliation in Sri Lanka. President Disanayaka appraised me of his inclusive approach. We hope that the Sri Lankan Government will meet the aspirations of the Tamil people and fulfil its commitment towards fully implementing the Constitution of Sri Lanka, and conducting Provincial Council Elections. -Modi, Read more Link
11. ඉන්දියාවේ කලාපීය උපායමාර්ගය: ශ්රී ලංකාවට ඇති සැබෑ අවදානම කුමක්ද?
ඉන්දියාව දකුණු ආසියාවේ විශාලතම ආර්ථික හා ආරක්ෂක බලවතෙකි. ඉන්දියානු සාගරයේ නාවික මාර්ග ආරක්ෂා කිරීම, චීන බලපෑම සමතුලිත කිරීම, බලශක්ති සැපයුම් තහවුරු කිරීම සහ අසල්වැසි රටවල් සමඟ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම එහි ප්රධාන උපායමාර්ගික අවශ්යතා අතර වේ.ශ්රී ලංකාව මෙම උපායමාර්ගයේ වැදගත් ස්ථානයක පිහිටා ඇත.
ශ්රී ලංකාව සම්බන්ධ ප්රධාන භූදේශපාලන ක්ෂේත්ර
| ක්ෂේත්රය | ඇතිවිය හැකි බලපෑම |
| ත්රිකුණාමලය | බලශක්ති සහ වරාය ආයෝජන හරහා ආර්ථික බලපෑම |
| දුම්රිය හා මාර්ග | ප්රවාහන ජාල සහ වෙළෙඳ මාර්ගවල ඒකාබද්ධතාව |
| විදුලි ජාලය | අන්තර්ජාතික විදුලි වෙළෙඳාමේ ප්රතිලාභ හා සැපයුම් යැපීම් |
| ඩිජිටල් පද්ධති | තාක්ෂණික ප්රමිතීන් සහ දත්ත පාලනය පිළිබඳ ප්රශ්න |
| ආගමික සංචාරක ව්යාපාරය | සංචාරක ආදායම සහ සංස්කෘතික බලපෑම |
| ආරක්ෂක සහයෝගිතාව | නාවික ආරක්ෂාව ශක්තිමත් වීම සහ විදේශ ප්රතිපත්ති ස්වාධීනත්වය පිළිබඳ අවදානම් |
මෙම සියලු ක්ෂේත්ර එකට සලකා බැලීමේදී ශ්රී ලංකාව ඉන්දියාවේ ආර්ථික හා උපායමාර්ගික පද්ධති සමඟ වඩාත් සමීපව බැඳෙමින් පවතින බව පැවසිය හැකිය.එහෙත් මෙම සම්බන්ධතා සියල්ලම ශ්රී ලංකාව අත්පත් කරගැනීමේ සැලැස්මක කොටස් බවට තහවුරු වූ සාක්ෂි නොමැත.සැබෑ අවදානම වන්නේ විදේශීය සහයෝගිතාවක් පැවතීම නොව, ශ්රී ලංකාවට විකල්ප තීරණ ගැනීමට නොහැකි තරමට එකම රටක් මත ආර්ථික හා තාක්ෂණිකව යැපීමට සිදුවීමයි.
12. ආණ්ඩුව පිළිතුරු දිය යුතු ප්රශ්න
මෙම සියලු ව්යාපෘති සහ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විදේශ අමාත්යාංශය, ආරක්ෂක අමාත්යාංශය සහ අදාළ රාජ්ය ආයතන පහත කරුණු පැහැදිලි කළ යුතුය.
-
2026 සැප්තැම්බර් මාසයේ අනුරාධපුර පූජා නගරයට අදාළව නිකුත් කළ බව පැවසෙන ගැසට් නිවේදනයේ අංකය සහ සම්පූර්ණ අන්තර්ගතය කුමක්ද?
-
අනුරාධපුරයේ රාම කෝවිලක් ඉදිකිරීමට සැබවින්ම යෝජනාවක් තිබේද? තිබේ නම් ඉඩම, අරමුදල් සහ අනුමැතිය ලබාදෙන ආයතන මොනවාද?
-
රාමායණ සංචාරක මාර්ගය සඳහා රාජ්ය ඉඩම් හෝ පුරාවිද්යා රක්ෂිත යොදාගැනීමට සැලසුම් තිබේද?
-
2025 අප්රේල් මාසයේ හුවමාරු වූ අවබෝධතා ගිවිසුම් හතේ සම්පූර්ණ පිටපත් පාර්ලිමේන්තුවට ලබාදී තිබේද?
-
ආරක්ෂක ගිවිසුමේ රහස්යභාවය සම්බන්ධ කොන්දේසි ශ්රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා පාර්ලිමේන්තු අධීක්ෂණයට බලපාන්නේ කෙසේද?
-
මන්නාරම හරහා ගොඩබිම් සම්බන්ධතාවක් පිළිබඳ යෝජනාවේ වර්තමාන නිල තත්ත්වය කුමක්ද?
-
ත්රිකුණාමල බලශක්ති ව්යාපෘතියේ ආයෝජන, කළමනාකරණ සහ ඉඩම් අයිතිවාසිකම් ශ්රී ලංකාව සතුව තහවුරු කරන්නේ කෙසේද?
-
ඉන්දීය සහයෝගයෙන් ක්රියාත්මක වන ඩිජිටල් පද්ධතිවල දත්ත පාලනය සහ ආරක්ෂාව සම්බන්ධ නීතිමය සහතික මොනවාද?
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතා ඉතිහාසය පුරා පැවතුණි. ඒවා සම්පූර්ණයෙන් නවතා දැමීම යථාර්ථවාදී හෝ ශ්රී ලංකාවට වාසිදායක ප්රතිපත්තියක් නොවේ.නමුත් අසල්වැසි සබඳතා ශක්තිමත් කිරීමේ නාමයෙන් ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව, පුරාවිද්යා උරුමය, බලශක්ති ස්වාධීනත්වය සහ ව්යවස්ථාමය තීරණ ගැනීමේ බලය සම්බන්ධයෙන් විනිවිදභාවය අඩු කිරීමට කිසිදු රජයකට අයිතියක් නැත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඉන්දියාව සමඟ ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම දේශපාලන විරෝධයක් පමණක් නොව ප්රජාතන්ත්රවාදී අධීක්ෂණයේ කොටසකි.මෙම විමර්ශනයෙන් හෙළිවන වැදගත්ම කරුණ වන්නේ ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර බලශක්ති, ආරක්ෂක, ඩිජිටල් හා ප්රවාහන සහයෝගිතාව සැලකිය යුතු ලෙස ව්යාප්ත වෙමින් පැවතීමයි.එහෙත් එම ක්රියාවලිය ශ්රී ලංකාව දේශපාලනිකව අත්පත් කරගැනීමේ රහසිගත සැලැස්මක් බවට පත්විම ශ්රි ලාංකික ජාතියටම කරනා නිගාවකි.
අවසානයේ තීරණාත්මක වන්නේ ඉන්දියාව කුමක් අපේක්ෂා කරන්නේද යන්න පමණක් නොවේ. ශ්රී ලංකාවේ ආණ්ඩුව තම රටේ ස්වාධීනත්වය, සම්පත් සහ ජනතා පරමාධිපත්යය ආරක්ෂා කරමින් ගිවිසුම් ඇතිකරගන්නේද යන්නයි.
ජනතාව නොදන්නා කොන්දේසි යටතේ රටක අනාගතය තීරණය නොවිය යුතුය.
