2024 සැප්තැම්බර් 23 වැනිදා අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ සාමාන්‍ය ආණ්ඩු මාරුවකින් ඔබ්බට ගිය දේශපාලන පෙරළියක සංකේතයක් ලෙසය.වසර දෙකකට පසු, එදා ඇතිවූ විශාල බලාපොරොත්තුව සමඟ අද පෙනෙන ප්‍රතිඵල සසඳන විට මතුවන්නේ තවත් වැදගත් ප්‍රශ්නයකි.
බලය වෙනස් වුණාට පාලන ක්‍රමය වෙනස් වී තිබේද?
දූෂණයට එරෙහි සටන, පැරණි දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම, IMF ගිවිසුම වෙනස් කිරීම, ජනතාවට ආර්ථික සහන ලබාදීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම වැනි විශාල අපේක්ෂා සමඟ පැමිණි ආණ්ඩුවකට දැන් තමන්ගේම පොරොන්දු ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කළ හැකිද යන අභියෝගය ඉදිරියේ තිබේ.
පන්තිය මාරු වුණා — රාජ්‍ය යන්ත්‍රය මාරු වුණාද?
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී සිදුවීමකි.තඹුත්තේගම සාමාන්‍ය ගොවි පවුලකින් පැමිණි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළින් ඉදිරියට පැමිණි නායකයකු රටේ විධායක ජනාධිපති ධුරයට පත්වීම දේශපාලන බලයේ පන්තිමය මාරුවක් ලෙසද විග්‍රහ කෙරිණි.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ වැනි අයද එම බල හුවමාරුව සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන පන්තියෙන් ප්‍රභූ නොවන සමාජ බලවේග වෙත බලය මාරුවීමක් ලෙස විග්‍රහ කළේය.එහෙත් වසර දෙකකට පසු මතුවන අභියෝගය වන්නේ පාලක පන්තියේ සමාජ පසුබිම වෙනස් කිරීම පමණක් රාජ්‍ය පාලනය වෙනස් කිරීමට ප්‍රමාණවත්ද? යන්නයි.NPP ආණ්ඩුවේම ඇතැම් ප්‍රධානීන් රාජ්‍ය යන්ත්‍රණය තුළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පිළිබඳ අදහස් දක්වා තිබීමෙන් පෙනෙන්නේ බලය ලබාගැනීම සහ රාජ්‍යය කාර්යක්ෂමව මෙහෙයවීම එකම දෙයක් නොවන බවය.
IMF ගැන කී කතා කොතැනද?
NPP ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචකයන් ඉදිරිපත් කරන ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ IMF වැඩසටහනයි.විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ක්‍රියාත්මක කළ IMF වැඩසටහන පිළිබඳ දැඩි විවේචන ඉදිරිපත් කළ NPP, බලයට පැමිණීමෙන් පසු එම වැඩසටහනේ මූලික රාමුව තුළම ඉදිරියට ගියේය.IMF සමඟ ඇති ගිවිසුම යළි සාකච්ඡා කරන බවට මැතිවරණ සමයේදී ප්‍රකාශ කෙරුණද, වසර දෙකක් ගතවන විටත් ආර්ථික ප්‍රතිපත්තියේ මූලික දිශාව වෙනස් කළ හැකි විකල්පයක් ඉදිරිපත් වී නොමැති බවට විවේචන පවතී.
එහි ප්‍රතිඵලයක් ලෙස බදු බර, ජීවන වියදම සහ මධ්‍යම හා පහළ ආදායම් ලබන ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය සම්බන්ධයෙන් ආණ්ඩුවට ක්‍රියා කළ හැකි අවකාශයද සීමා වී තිබේ.එබැවින් දැන් ප්‍රශ්නය වන්නේ පැරණි ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කර බලයට පැමිණි ආණ්ඩුවේ වෙනස් ආර්ථික මාර්ගය කුමක්ද? යන්නයි.
දූෂණ විරෝධී සටන — ප්‍රබලම පැත්තක්
කෙසේ වෙතත් ආණ්ඩුවේ දෙවසර සම්පූර්ණයෙන්ම අසාර්ථකත්වයක් ලෙස විස්තර කිරීම සාධාරණ නොවේ.පසුගිය සමයේ දූෂණ, මූල්‍ය වංචා සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ විමර්ශන වේගවත් කිරීමට ගන්නා උත්සාහයන් මහජන අවධානයට ලක්ව තිබේ.රාජ්‍ය අංශයේ විනිවිදභාවය වැඩි කිරීමට ගන්නා ඇතැම් පියවර මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළද ආණ්ඩුව තම ජයග්‍රහණ ලෙස ඉදිරිපත් කරයි.
එමෙන්ම පෙර පාලන සමයන්හි දැඩි විවේචනයට ලක්වූ පවුල් දේශපාලනය NPP ආණ්ඩුව තුළ ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස නොපෙනීමද පැහැදිලි වෙනසකි.නමුත් ආණ්ඩුවේ ප්‍රධාන අභියෝගය වන්නේ මේවායින් ඔබ්බට ගොස් ජනතාවගේ දෛනික ජීවිතයට දැනෙන පාලන හා ආර්ථික වෙනසක් ඇති කිරීමයි.
පළාත් සභා — පොරොන්දුව තවමත් පොරොන්දුවක්
සුළුතර ප්‍රජාවන් සහ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයද විවේචනයට ලක්ව තිබේ.බලයට පැමිණ වසරක් තුළ පළාත් සභා මැතිවරණ පවත්වන බවට ලබාදුන් පොරොන්දුව වසර දෙකක් ගතවන විටත් ඉටුවී නොමැත.එම මැතිවරණ තවදුරටත් ප්‍රමාද වීමත් සමඟ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා තවත් කල් දැමීමක් සිදුවන්නේද යන සැකය විවේචකයන් අතර මතුව තිබේ.
මෙය විශේෂයෙන් වැදගත් වන්නේ JVP එකට බලය බෙදාහැරීම සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති බැවිනි.පළාත් සභා නොපවත්වා ජනාධිපතිවරයා විසින් පත්කරන ආණ්ඩුකාරවරුන් යටතේ පළාත් දිගටම පාලනය වන්නේ නම්, බලය බෙදාහැරීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද යන ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වනු ඇත.
උතුරු–නැගෙනහිර ප්‍රශ්නවලත් පැරණි පාරමද?
දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂ, යුද්ධයෙන් පසු ඉඩම් ගැටලු, අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය සහ සංහිඳියාව සම්බන්ධයෙන්ද වසර දෙක තුළ තීරණාත්මක ප්‍රගතියක් සිදුවී නොමැති බවට විවේචන පවතී.ජාතිවාදය හා ආගමික අන්තවාදය යළි ඇතිවීමට ඉඩ නොදෙන බවත් සියලු පුරවැසියන්ට සමානව සලකන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
එහෙත් සමානාත්මතාව පිළිබඳ ප්‍රකාශ පමණක් නොව, යුද්ධයෙන් නිර්මාණය වූ විශේෂිත ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය බව එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයන් හා ක්‍රියාකාරීන් දිගින් දිගටම පෙන්වා දෙති.
නව ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපති ක්‍රමය?
තවත් දැවැන්ත පොරොන්දුවක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.ඒ සමඟ විධායක ජනාධිපති ක්‍රමයේ අනාගතයද බැඳී තිබේ.දැන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර දෙකක් ගතවී ඇත. ඉතිරිව ඇත්තේ වසර තුනකි.
ආණ්ඩුවක ධුර කාලය අවසානයට ළඟා වන තරමට නව ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කිරීම දේශපාලනිකව වඩාත් සංකීර්ණ වේ.ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් තවත් ඉටු නොවූ මැතිවරණ පොරොන්දුවක් බවට පත්වේද? යන ප්‍රශ්නය ඉදිරි වසර තුනේදී වඩාත් ප්‍රබල වනු ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයද? පැලවත්තද?
NPP පාලනයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ JVP මහ ලේකම් ටිල්වින් සිල්වා අතර බල සම්බන්ධතාවයි.දිසානායක රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම NPP හි ප්‍රධාන මහජන මුහුණුවරයි. ටිල්වින් සිල්වා JVP සංවිධාන ව්‍යුහය සහ එහි මතවාදී විනය සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් දරයි.මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ පැලවත්ත JVP මූලස්ථානය ලෙස බල කේන්ද්‍ර දෙකක් පවතින්නේද යන්න ඇතැම් දේශපාලන විශ්ලේෂණවල මතුවන ප්‍රශ්නයකි.
ඉදිරියේදී IMF ප්‍රතිසංස්කරණ දැඩි වන විට හෝ ආර්ථික පීඩනය හේතුවෙන් මහජන විරෝධය වැඩි වුවහොත්, රාජ්‍ය පාලනයේ ප්‍රායෝගික අවශ්‍යතා සහ JVP හි සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන ස්ථාවරයන් අතර ගැටුමක් ඇතිවන්නේද යන්නද නිරීක්ෂණය කළ යුතු කරුණකි.
61% සිට 43% දක්වා
ආණ්ඩුවට ඇති තවත් අනතුරු ඇඟවීමක් ලෙස එහි මැතිවරණ ප්‍රතිඵල දෙක අතර වෙනස පෙන්වා දිය හැකිය.2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී NPP ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 61ක් පමණ වූ අතර 2025 පළාත් පාලන මැතිවරණයේදී එය සියයට 43ක් පමණ විය.
මැතිවරණ දෙකේ ස්වභාවය හා ඡන්දදායක හැසිරීම වෙනස් බැවින් එම ප්‍රතිශත සෘජුව සමාන කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එහෙත් ආරම්භයේ පැවති දැවැන්ත දේශපාලන රැල්ල එම මට්ටමින්ම පවත්වාගෙන යාම ආණ්ඩුවට පහසු නොවන බව මෙම ප්‍රතිඵල පෙන්වයි.ජනාධිපති දිසානායක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ජනරැලි පවත්වමින් ජනතාව අතරට යෑමද මේ පසුබිම තුළ වැදගත් දේශපාලන පියවරක් ලෙස දැකිය හැකිය.
‘වෙනස’ ඔප්පු කිරීමට ඉතිරිව ඇත්තේ වසර තුනයි
අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලනය පිළිබඳ විග්‍රහයේදී පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ.2024 දී සිදුවූයේ විශාල දේශපාලන බල හුවමාරුවකි. එහෙත් එම බල හුවමාරුව පද්ධතිමය වෙනසක් බවට පරිවර්තනය කිරීම තවමත් අවසන් වී නැත.
පවුල් දේශපාලනයෙන් ඈත්වීම, සරල රාජ්‍ය නායකත්ව රටාවක් පෙන්වීම, දූෂණ විමර්ශන වේගවත් කිරීම සහ රාජ්‍ය අංශයේ විනිවිදභාවය වැඩි කිරීමට ගන්නා උත්සාහයන් ආණ්ඩුවට ඉදිරිපත් කළ හැකි සාධනීය කරුණුය.එහෙත් ජනතාව බලාපොරොත්තු වූ “වෙනස” මැනෙන්නේ එතැනින් පමණක් නොවේ.
IMF සම්බන්ධයෙන් වෙනස් ආර්ථික මාර්ගයක් පෙන්විය හැකිද? ජීවන වියදමෙන් පීඩාවට පත් ජනතාවට ප්‍රතිඵල ලැබේද? පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කවදාද? නව ව්‍යවස්ථාව එන්නේ කවදාද? විධායක ජනාධිපති ක්‍රමයට කුමක් සිදුවේද? උතුරු–නැගෙනහිර දීර්ඝකාලීන ගැටලුවලට ලබාදෙන විසඳුම කුමක්ද?
මේවා තවදුරටත් විපක්ෂයේ සිට ආණ්ඩුවට ඇසිය හැකි ප්‍රශ්න නොවේ.දැන් ඒවාට පිළිතුරු දිය යුත්තේ NPP ආණ්ඩුවමය.දේශපාලන බලය දිනාගැනීමේ පරීක්ෂණය NPP ජයගත්තේ 2024දීය.
දැන් එය මුහුණ දෙන්නේ ඊට වඩා අමාරු පරීක්ෂණයකටය — තමන් පොරොන්දු වූ වෙනස සැබෑ පාලන ප්‍රතිඵල බවට පත් කළ හැකිද යන්නයි.
~පණ්ඩුක හේරත්~















Leave a Reply