2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට පෙර මාස ගණනාවක් පුරා සිදුවූ පුහුණු වැඩසටහන්, පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීම්, අත්හදා බැලීමේ පිපිරීම් සහ රහසිගත නිවාස භාවිතය පිළිබඳ තොරතුරු රැසක් අදාළ නඩුවේ අධිකරණ තීන්දුවෙන් අනාවරණය වී තිබේ.අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව, ප්‍රහාරයට පෙර නුවරඑළිය, හම්බන්තොට, කාත්තන්කුඩි, පාලමුනෙයි, පානදුර, නාරම්මල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුවූ ක්‍රියාකාරකම් පිළිබඳ විනිසුරුවරු සවිස්තරාත්මකව කරුණු සලකා බලා තිබේ.නඩුව අවසානයේ පුද්ගලයන් 15 දෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට වසර 200 සිට 260 දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි. තවත් විත්තිකරුවන් නවදෙනෙකුට එරෙහි චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් ඔවුන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර අවසන්.
නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු වැඩසටහන්
10 වැනි විත්තිකරු අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි, නුවරඑළිය කඳවුරකට සහ හම්බන්තොට සිප්පිකුලම්හි පැවති වැඩමුළුවකට සහභාගී වූ බවට ඉදිරිපත් වූ සාක්ෂි මත අන්තවාදී අදහස් ඇතුළත් කිරීමේ චෝදනාවකට වරදකරු කර තිබේ.15 වැනි විත්තිකරු මොහොමඩ් හනිෆා සයිනුල් අබ්දීන් ශාන්තිපුර කඳවුරට සහභාගී වූ බව මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ කළ ප්‍රකාශයක්ද අධිකරණය සැලකිල්ලට ගෙන තිබිණි.සිප්පිකුලම්හි බංගලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ සාක්ෂිය අනුව, අබ්දීන් 2018 වසරේ අවස්ථා හතරකදී එම ස්ථානය වෙන්කරගෙන පිරිසක් සමඟ වෑන් රථයකින් පැමිණ තිබේ.එහෙත් 14 වැනි විත්තිකරු රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම්ට එරෙහිව එල්ල වූ අන්තවාදී අදහස් ඇතුළත් කිරීමේ චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි අධිකරණය තීරණය කළේය.
ප්‍රහාරයට මාස අටකට පෙර පළමු අත්හදා බැලීම
නඩු තීන්දුවේ වැදගත් කරුණක් වන්නේ පාස්කු ප්‍රහාරයට මාස අටකට ආසන්න කාලයකට පෙර සිදුකළ බව කියන පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමයි.2018 අගෝස්තු 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, කාත්තන්කුඩි ඔල්ලිකුලම්හිදී පුපුරණ උපකරණයක් අත්හදා බැලීමේදී බරපතළ තුවාල ලබා තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.එහිදී ඔහුගේ අත් සහ ඇස්වලට බරපතළ තුවාල සිදුව තිබිණි.8 වැනි විත්තිකරු අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්, රිල්වාන් සමඟ එක්ව එම අත්හදා බැලීම සිදුකළ බව අධිකරණය තීරණය කළේ.
රිල්වාන් රෝහලට ඇතුළත් කළේ වෙනත් නමකින්
පිපිරීමෙන් තුවාල ලැබූ රිල්වාන්ගේ සැබෑ අනන්‍යතාව සඟවා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවටද අධිකරණය කරුණු සොයාගෙන තිබේ.2 වැනි විත්තිකරු වන “ගෆූර් මාමා” ලෙස හැඳින්වූ මොහොමඩ් සරිෆ් ආදම් ලෙබ්බේ සහ 4 වැනි විත්තිකරු මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, 2018 අගෝස්තු 27 වැනිදා රිල්වාන් ව්‍යාජ අනන්‍යතාවක් යටතේ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ බව අධිකරණය තීරණය කළේය.රෝහල් ලේඛන අනුව රිල්වාන් 59 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබුණේ 4 වැනි විත්තිකරුගේ බාල සහෝදරයාගේ නමිනි.රිල්වාන්ගේ කාත්තන්කුඩි ලිපිනය වෙනුවට මාවනැල්ල ලිපිනයක් යොදා තිබූ අතර, තුවාල සිදුවූයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් බව රෝහල් කාර්ය මණ්ඩලයට පවසා තිබූ බවද නඩු තීන්දුවේ සඳහන් වේ.ඡායාරූප සහ වෛද්‍ය සාක්ෂි මගින් එම රෝගියා රිල්වාන් බව තහවුරු වූ බව අධිකරණය සොයාගෙන තිබේ.
ස්ථාන හතක වළ දමා තිබූ RDX සහ TNT
තවත් ප්‍රධාන අනාවරණයක් වූයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් රහසිගතව වළ දමා තිබීමයි.8 සහ 18 වැනි විත්තිකරුවන්, RDX සහ TNT ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙන්ම විදුලි පරිපථ, බැටරි සහ වයර් රෝල් රැස්කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කර තිබේ.මෙම ද්‍රව්‍ය මියගිය 17 වැනි විත්තිකරුට අයත් ඉඩමක ස්ථාන හතක වළ දමා තිබියදී සොයාගෙන ඇත.8 සහ 18 වැනි විත්තිකරුවන් වෙන වෙනම පොලිසිය එම ස්ථාන වෙත රැගෙන ගොස් ඇති අතර, එම කරුණු සාක්ෂි ආඥාපනතේ 27 වැනි වගන්තිය යටතේ අධිකරණය සැලකිල්ලට ගෙන තිබේ.
ප්‍රහාරයට දින පහකට පෙර තවත් අත්හදා බැලීමක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට දින පහකට පෙර, 2019 අප්‍රේල් 16 වැනිදා, පාලමුනෙයි ප්‍රදේශයේ “කිරිතෝන වත්ත” නමැති පෞද්ගලික ඉඩමකදී WP BCQ-0304 අංකය සහිත ස්කූටරයක් පුපුරුවා හැර තිබූ බවද තීන්දුවේ සඳහන් වේ.රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්ෂි අනුව, ස්කූටරයේ රියදුරු අසුන යට යූරියා නයිට්‍රේට් සහ මිලිමීටර් 6.2ක වානේ බෝල යොදා සකස් කළ බෝම්බයක් තබා තිබිණි.එය පුපුරා යාමේදී කොටස් පිටතට විසිවන ආකාරයට නිර්මාණය කර තිබූ බවද රස පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.විමර්ශකයන් ස්කූටරයේ චැසි අංකය ඔස්සේ එය මිලදී ගත් ආකාරය සොයාගෙන තිබිණි. ඒ සඳහා 2018දී මුදල් පසුම්බිය අහිමි වූ ජෙරාඩ් යසස්ති සිල්වා නමැති පුද්ගලයෙකුගේ හැඳුනුම්පත භාවිත කර තිබූ බව අධිකරණය හමුවේ අනාවරණය විය.එම මුදල් පසුම්බිය 5 වැනි විත්තිකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ බව පොලිසිය සාක්ෂි දී තිබේ.
Water Gel කාට්රිජ් 850ක් – ඩෙටනේටර් 1,700කට වැඩියි
නඩුවේ තවත් වැදගත් කොටසක් වූයේ පාස්කු ප්‍රහාර සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ලබාගත් ආකාරයයි.අධිකරණය සඳහන් කළ පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරවල බෝම්බවල එකම වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය භාවිත කර තිබීම නඩුවේ වැදගත් සොයාගැනීමකි.රජයේ රස පරීක්ෂකවරුන්ගේ සාක්ෂි අනුව, සාමාන්‍ය ඩෙටනේටර් විදුලි ඩෙටනේටර් බවට පරිවර්තනය කර තිබූ අතර, ගල්වළවල පාෂාණ බිඳීමට භාවිත කරන water gel ද භාවිත කර තිබේ.
16 වැනි විත්තිකරු මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, නාරම්මල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරිණි.
සාක්ෂිකරුවෙකු අධිකරණයට පවසා තිබුණේ 2019 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා අවස්ථා හතරකදී එම විත්තිකරු water gel කාට්රිජ් 850ක්, ඩෙටනේටර් 1,700ක් හෝ 1,800ක් සහ safety fuse රෝල් හයක් හෝ හතක් රැගෙන ගිය බවයි.තවත් සාක්ෂිකරුවෙකු පවසා තිබුණේ ඔහු ඩයිනමයිට් කූරු 100කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා තිබූ බවයි.නිවසේ කුස්සියක් සහ වැසිකිළියක් ඉදිකිරීමට මෙම පුපුරණ ද්‍රව්‍ය අවශ්‍ය වූ බවට විත්තිකරු ලබාදුන් පැහැදිලි කිරීම, අදාළ ද්‍රව්‍ය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
පානදුර නිවසෙන් වානේ බෝල සහ පුපුරණ ද්‍රව්‍ය
ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම භාවිත කළ බවට සාක්ෂි ඉදිරිපත් වූ නිවාස සහ පුහුණු ස්ථාන දොළහකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳවද තීන්දුවේ විස්තර කර තිබේ.ඒ අතර පානදුර පරත්ත පාරේ පිහිටි Nasmiya Villa නිවස සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.එම නිවස 2019 පෙබරවාරි මාසයේදී Kingsbury හෝටලයට ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් සහ 6 වැනි විත්තිකරු මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සම්බන්ධව කුලියට ගෙන තිබූ බව අධිකරණය සොයාගෙන තිබේ.විමර්ශකයන් එම නිවසෙන් වානේ බෝල, පුපුරණ ද්‍රව්‍ය, වානේ බෝල නිෂ්පාදකයෙකුගේ නම සහිත ප්ලාස්ටික් බෑග්, Decathlon බෑග් සහ ඇමෝනියම් නයිට්‍රේට් අවශේෂ සහිත PVC නළ කොටසක් සොයාගෙන තිබිණි.6 සහ 7 වැනි විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු මෙන්ම සහරාන්ගේ කුඩා දියණියගේ අත්ල සලකුණක්ද එම නිවසෙන් සොයාගත් බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ.
ප්‍රහාරයට පෙර දින භාණ්ඩ තොගයක් නිවසෙන් පිටතට
2019 අප්‍රේල් 20 වැනිදා, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දින, Nasmiya Villa නිවසේ තිබූ විශාල භාණ්ඩ තොගයක් කල්මුණේ ආසන්න සෙන්නල් ග්‍රාමම් සහ සයින්දමරුදු ප්‍රදේශවල නිවාස වෙත ගෙන ගොස් තිබූ බවද අධිකරණය සොයාගෙන තිබේ.ඉන් දින කිහිපයකට පසු සයින්දමරුදුහි අදාළ නිවසක විශාල පිපිරීමක් සිදුවිය.එක් නිවසකින් සොයාගත් ප්ලාස්ටික් කෑන්වල නයිට්‍රික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය තිබූ බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර තිබේ.
සමාජ මාධ්‍ය කතා නොවෙයි — නීත්‍යනුකූල සාක්ෂි පමණයි
නඩු තීන්දුවේ විශේෂයෙන් අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ විත්තිකරුවන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අනුමාන සහ මතවාද නොසලකා හැර, නීත්‍යනුකූලව පිළිගත හැකි සාක්ෂි පමණක් සලකා බැලූ බවයි.මහේස්ත්‍රාත්වරයෙකුට ලබාදුන් ප්‍රකාශයක් භාවිත කළ හැක්කේ එය ලබාදුන් පුද්ගලයාට එරෙහිව පමණක් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට ලබාදුන් ප්‍රකාශයක් සම-විත්තිකරුවෙකුට එරෙහිව භාවිත කිරීම සඳහා එහි වැදගත් කරුණු ස්වාධීන සාක්ෂි මගින් තහවුරු විය යුතු බවත් අධිකරණය අවධාරණය කර තිබේ.
නවදෙනෙක් නිදහස් — 15 දෙනෙක් වරදකරුවන්
12, 13, 14 සහ 20 සිට 25 දක්වා විත්තිකරුවන් නවදෙනාට එරෙහි සියලු චෝදනා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ.අධිකරණයේ තීරණය වූයේ කුමන්ත්‍රණය පිළිබඳ සාක්ෂි පැවතියේ වරදකරුවන් කළ පුද්ගලයන් 15 දෙනාට එරෙහිව පමණක් බවයි.ඒ අනුව අනෙක් පුද්ගලයන්ට එරෙහි අනුබල දීමේ චෝදනාද සනාථ නොවීය.අවසානයේ වරදකරුවන් වූ පුද්ගලයන් 15 දෙනාට එම විනිසුරු මඬුල්ල විසින්ම වසර 200 සිට වසර 260 දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවා.



















Leave a Reply