Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වසර දෙකකට පසුත් ‘System Change’ කොහිද? ආර්ථික ස්ථාවරත්වය තිබුණත් ව්‍යුහාත්මක වෙනස තවම නෑ! අනුරගේ දෙවසර ගැන The Hindu විග්‍රහයක්

2022 ජන අරගලයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටි “System Change” හෙවත් පවතින දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ගතවී ඇතත් සැබෑ ව්‍යුහාත්මක පරිවර්තනයක් බවට පත්ව තිබේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ The Hindu පුවත්පත පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. MEERA SRINIVASAN ගේ Sri Lanka: chasing system change යන ලිපිය ආශ්‍රයෙන් මෙය සකස් කර ඇත.

“Sri Lanka: chasing system change” යන තේමාව යටතේ පළ කර ඇති එම විග්‍රහයෙන්, NPP ආණ්ඩුව ආර්ථික ස්ථාවරත්වය සහ දේශපාලන සංස්කෘතියේ යම් වෙනස්කම් ඇති කර තිබුණද, 2022 අරගලයෙන් මතු වූ මූලික ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් තවමත් ඉටු වී නොමැති බවට අදහස් ඉදිරිපත් කරයි.

“Gota Go Home” සිට “System Change” දක්වා

2022 දී ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයත් සමඟ ඇතිවූ ජන අරගලයේ ප්‍රබලම සටන් පාඨය වූයේ “Gota Go Home” යන්නයි.ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම, විදුලි කප්පාදු, විදේශ විනිමය හිඟය සහ රටේ ආර්ථික බිඳවැටීම හමුවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල කෙරෙහි දැඩි ජනතා විරෝධයක් ඇතිවිය.එහෙත් අරගලයේ ඉල්ලීම ජනාධිපතිවරයෙකු ගෙදර යැවීමකට පමණක් සීමා නොවූ බව The Hindu සිහිපත් කරයි.අරගල භූමියෙන් නැගුණු තවත් ප්‍රබල ඉල්ලීම වූයේ “System Change” එකකි.එනම් පුද්ගලයන් මාරු කිරීමෙන් ඔබ්බට ගොස් දූෂණය, දේශපාලන බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පැරණි දේශපාලන සංස්කෘතිය ඇතුළු ව්‍යුහාත්මක ගැටලු වෙනස් කළ යුතු බවය.

රනිල්ගෙන් පසු අනුරට ලැබුණු අවස්ථාව

ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විය.ඔහු සම්බන්ධයෙන් අරගලයට සහභාගි වූ පිරිස් අතර වෙනස් අදහස් පැවති බව The Hindu සඳහන් කරයි. එක් පිරිසක් ඔහු බිඳවැටුණු ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි පළපුරුදු නායකයෙකු ලෙස සැලකූ අතර, තවත් පිරිසක් ඔහුගේ පාලනය රාජපක්ෂ දේශපාලන ක්‍රමයේ අඛණ්ඩතාවක් ලෙස දුටුවේය.මෙම පසුබිම තුළ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායකගේ “දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ” පණිවිඩය ඡන්දදායකයන් අතර ප්‍රතිචාරයක් ලබාගත්තේය.

2024 ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක පළමු මනාප ඡන්දවලින් 42.31%ක් ලබාගත් අතර මනාප ගණනයෙන් පසු ජනාධිපති ධුරයට පත්විය. ඉන් අනතුරුව පැවැති මහ මැතිවරණයේදී NPPයට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් හිමිවිය.2024 සැප්තැම්බර් 23 දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක තමන් ප්‍රාතිහාර්ය සිදුකරන්නෙකු නොවන බව පවසමින් රට යළි ගොඩනැගීම සඳහා සාමූහික උත්සාහයකට නායකත්වය දෙන බව ප්‍රකාශ කළේය.

IMF ගැනත් ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස් වෙයි

බලයට පැමිණීමෙන් අනතුරුව NPP ආණ්ඩුව මුහුණදුන් ප්‍රධාන අභියෝගය වූයේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි.ඒ සඳහා පෙර රජය විසින් එකඟ වී තිබූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට NPP ආණ්ඩුව තීරණය කළේය.The Hindu විග්‍රහයට අනුව ආණ්ඩුව IMF විසින් අවධාරණය කළ රාජ්‍ය මූල්‍ය විනය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය දැඩිව අනුගමනය කර ඇති අතර, ඇතැම් ප්‍රධාන ඉලක්ක සපුරාලීමට හෝ ඉක්මවා යාමටද සමත්ව තිබේ.NPP මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ The Hindu වෙත පවසා ඇත්තේ පසුගිය වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා ගිය අතර අනවශ්‍ය රාජ්‍ය වියදම් අඩු කිරීමටද ආණ්ඩුව සමත් වූ බවයි.එහෙත් ආර්ථික ස්ථාවරත්වයේ අනෙක් පැත්ත ලෙස කප්පාදුකාරී ආර්ථික ප්‍රතිපත්ති හමුවේ දුප්පත් පවුල්වල ජීවන තත්ත්වයට එල්ල වී ඇති බලපෑමද වාර්තාව මතු කරයි. ඇතැම් අධ්‍යයන අනුව ආර්ථික පීඩනයට මුහුණදීමට අඩු ආදායම්ලාභී පවුල් ආහාර පරිභෝජනය පවා අඩුකර ඇති බව එහි සඳහන් වේ.

“දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා”

කෙසේ වෙතත්, NPP මහලේකම් නිහාල් අබේසිංහ පවසන්නේ ආණ්ඩුව විසින් රටේ “දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඇති” බවයි.මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මෙන්ම මහා පරිමාණ දූෂණ චෝදනා එල්ලවූ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් ඔහු ඒ සඳහා උදාහරණ ලෙස දක්වා තිබේ.2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගැනීමද විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් බව වාර්තාව පෙන්වා දෙයි.“හිටපු ජනාධිපතිවරයෙකු වුවත් වෙනත් ඕනෑම අයෙකු වුවත් නීතිය ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයට” යන්න අබේසිංහගේ ස්ථාවරයයි.

ඒත් ප්‍රධාන පොරොන්දු කිහිපයක් තවමත් බලාගෙන

The Hindu විග්‍රහයේ වැඩි අවධානයක් යොමු වන්නේ NPP ආණ්ඩුවේ තවමත් ඉටු නොවූ ප්‍රධාන දේශපාලන හා ව්‍යුහාත්මක පොරොන්දු වෙතය.පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ඒ අතර ප්‍රධාන වේ.මෙම කරුණු දෙකම විශේෂයෙන් දෙමළ ඡන්දදායකයන් වෙත NPP ලබාදුන් වැදගත් පොරොන්දු බව වාර්තාව සඳහන් කරයි.නිහාල් අබේසිංහ පවසන්නේ ආණ්ඩුවේ ඉතිරි වසර තුන තුළ මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවයි.එහෙත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය තවමත් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ රැඳී ඇති අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද මෙතෙක් සැලකිය යුතු ප්‍රගතියක් නොපෙනෙන බව The Hindu පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් තවම පොරොන්දුවක්

NPP විසින් ලබාදුන් තවත් ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.එහෙත් එයද මෙතෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ලෙස පවතින බව වාර්තාව සඳහන් කරයි.එමෙන්ම දශක ගණනාවක් තිස්සේ විවේචනයට ලක්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA අහෝසි කිරීමේ පොරොන්දුවද සම්පූර්ණ වී නොමැත.PTA වෙනුවට ඉදිරිපත් කිරීමට යෝජිත නව ත්‍රස්ත විරෝධී නීති රාමුව සම්බන්ධයෙන්ද මානව හිමිකම් ක්‍රියාකාරීන් විවේචන ඉදිරිපත් කර ඇති අතර, එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහස ලෙස The Hindu වාර්තා කරයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැනත් විවේචන

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව මෑතකදී ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන උත්සාහයද වාර්තාවේ අවධානයට ලක්ව තිබේ.එම යෝජනාවට විපක්ෂ දේශපාලන පක්ෂ සහ නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව විවේචන එල්ල කළ බවත්, අධිකරණය දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීමට උත්සාහ කරන බවට ඇතැම් විවේචකයන් චෝදනා කළ බවත් වාර්තාව සඳහන් කරයි.

“System Change” වෙනුවට “Good Governance” ද?

NPP ආණ්ඩුවේ දෙවසර පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥ ප්‍රදීප් පීරිස් The Hindu වෙත ඉදිරිපත් කර ඇත්තේ මිශ්‍ර තක්සේරුවකි.රට තුළ වඩා ශිෂ්ට හා ගෞරවාන්විත දේශපාලන සංස්කෘතියක් බිහිවීම ගැන ඔහු ප්‍රසාදය පළ කරන නමුත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳීමට ලැබුණු වැදගත් අවස්ථාවක් ක්‍රමයෙන් අහිමිවෙමින් පවතින බවටද කනස්සල්ල පළ කරයි.ඔහුගේ අදහස අනුව NPP ආණ්ඩුව මේ වනවිට පෙනී යන්නේ “පරිවර්තනීය ආණ්ඩුවකට” වඩා “යහපාලන ආණ්ඩුවක්” ලෙසය.

2024 මැතිවරණය සාමාන්‍ය ආණ්ඩු මාරුවක් පමණක් නොවූ බවත්, නිදහසින් පසු නව දේශපාලන ව්‍යුහයක් පිළිබඳ සාකච්ඡා කළ හැකි බවට පුරවැසියන් තුළ දැඩි බලාපොරොත්තුවක් ඇතිවූ විශේෂ අවස්ථාවක් බවත් ඔහු පෙන්වා දෙයි.2022 අරගලය නව ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවක් ජනප්‍රිය කළ නමුත් 2024 මැතිවරණ ප්‍රතිඵලය NPP වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අනුමත කිරීමක් ලෙස නොව, පැරණි දේශපාලන පන්තිය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසද තේරුම් ගත හැකි බව ඔහුගේ විග්‍රහයයි.

“පැරණි ක්‍රමයේම වඩා හොඳ පාලකයන් වෙලාද?”

ප්‍රදීප් පීරිස් මතුකරන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සැබෑ දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක සහ සංස්කෘතික ව්‍යාපෘතියක් තවමත් ආරම්භ වී තිබේද යන්නයි.ඔහුගේ විග්‍රහයට අනුව ඓතිහාසික “System Change” අවස්ථාව භාවිත කරමින් ක්‍රමය වෙනස් කිරීම වෙනුවට, NPP ආණ්ඩුව තමන්ට උරුම වූ එකම ක්‍රමය තුළ වඩා හොඳ පාලකයන් බවට පත්වීමේ අවදානමක් පවතී.එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් පැරණි දේශපාලන ක්‍රමය යළි මතුවීමේ අවදානමද පවතින බව ඔහු පෙන්වා දෙයි.

NPP දෙවැනි වාරයක් ගැනත් විශ්වාසයෙන්

මේ අතර NPP නායකත්වය දෙවන පාලන වාරයක් සම්බන්ධයෙන්ද විශ්වාසයෙන් සිටින බව The Hindu සඳහන් කරයි.“විපක්ෂය දුර්වලයි, බෙදිලා. ඔවුන්ට පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ” යනුවෙන් නිහාල් අබේසිංහ පවසා ඇති අතර, NPPයට වඩා හොඳ නව දේශපාලන බලවේගයක් බිහිවන තුරු සැබෑ දේශපාලන අභියෝගයක් නොපෙනෙන බවද ඔහුගේ අදහසයි.කෙසේ වෙතත්, 2024දී NPP සහ අනුර කුමාර දිසානායක කෙරෙහි ජනතාව තැබූ ඉහළ බලාපොරොත්තු ඉදිරි වසර තුන තුළ රඳවා ගැනීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව The Hindu විග්‍රහයෙන් මතුකරයි.

ආර්ථිකය ස්ථාවර කිරීම, රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගෙන යාම සහ දේශපාලන සංස්කෘතියේ යම් වෙනස්කම් ඇති කිරීම පමණක් 2022 ජන අරගලයෙන් ඉල්ලා සිටි “System Change” ලෙස සැලකිය හැකිද, නැතිනම් නව ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක්‍රමය, පළාත් සභා, ත්‍රස්ත විරෝධී නීති සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සම්බන්ධ ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍යද යන්න ඉදිරි කාලයේදී NPP පාලනය පිළිබඳ විවාදයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් වනු ඇති බව එම විග්‍රහයෙන් පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *