සවුදි අරාබියේ සේවය කරමින් සිටි 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට වසර පහක සිර දඬුවමකින් ආරම්භ වූ නීතිමය සිද්ධිය අවසානයේ මරණ දඬුවමක් දක්වා උග්‍රවීමත් සමඟ, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකාව දැන් දැඩි නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමකට පිවිස තිබේ.කෙසේවෙතත් එය මේ දක්වා සාර්ථකත්වයේ පලමු පියවරටවත් පැමිණ නැති බවයි රාජ්‍යතාන්ත්‍රික මුලාශ්‍ර අනාවරණය කරන්නේ.
එහෙත් The Examiner විසින් ඔක්තෝබර් 2 වැනිදා පළ කළ විමර්ශනාත්මක වාර්තාව මගින් මතුකරන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ,
මේ වනවිට සාක්ෂී සහිතව අනාවරණය වි ඇති කරුණ වන්නේ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් අභියාචනයෙන් දඬුවම තවත් දැඩි විය හැකි බව තමන් දැන නොසිටි බවයි.හුදෙක් විදේශ කටයුතු අමාත්‍යාංශය මුදල් ගරා ගැනිම සදහා මෙම අභියාචනය සිදුකර ඇති බව දැන් තහවුරු වි තිබේ.සමස්ථ ක්‍රියාවලියම සලකා බැලු විට මේ තත්ත්වය ඇතිවීමට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය යාන්ත්‍රණයට කළ හැකිව තිබූ දේ නිසි වේලාවේ සිදුකර නොමැති බව දැන් අනාවරණය වි තිබේ.
Facebook ප්‍රකාශයකින් ඇරඹුණු සිද්ධිය
කල්මුණේ නට්පිට්ටිමුනයි ප්‍රදේශයේ අනෝජන් සවුදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරක්ෂක පුහුණු නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියේය.ජූනි 28 වැනිදා කල්මුණේදී සුබ්‍රමනියම් නමැති සුනඛයකුට පුද්ගලයකු පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතිවූ උණුසුම් සංවාදයකදී අනෝජන් ඉස්ලාම් ආගමේ නබි මුහම්මද්තුමා සම්බන්ධයෙන් දැඩි අපහාසාත්මක අදහසක් Facebook හි පළකර තිබිණි.පසුව ඔහු එය ඉවත් කර වීඩියෝවක් මගින් සමාව ඉල්ලා තිබූ නමුත් එහෙත් ඒ වන විට එම ප්‍රකාශයේ පිටපත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබිණි.ජූලි 1 වැනිදා පවුල ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සහාය ඉල්ලා තිබූ අතර, ජූලි 2 වැනිදා සවුදි පොලිසිය අනෝජන් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු නඩු විභාගයේදී නීතිඥයෙක් සිටියාද?
මෙහිදී රාජ්‍යයේ කොන්සියුලර් මැදිහත්වීම පිළිබඳ මතුවන වැදගත්ම ප්‍රශ්නයක් වන්නේ මුල් නඩු විභාගයේදී අනෝජන්ට ප්‍රමාණවත් නීතිමය නියෝජනයක් තිබුණේද යන්නයි.අනෝජන්ගේ සහෝදරයා පවසා ඇත්තේ මුල් නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිඥයකු නොසිටි බවත්, සිද්ධිය තානාපති කාර්යාලයට දැනුම් දුන්නද කිසිවකු නඩු විභාගයට නොපැමිණි බවත්ය. මෙම ප්‍රකාශය පවුලේ පාර්ශ්වයේ චෝදනාවක් වන අතර, එය ස්වාධීනව තහවුරු කරන සම්පූර්ණ නිල නඩු වාර්තාවක් ප්‍රසිද්ධ වී නැත.
ජූලි 27 වැනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාග කර, පසුදා අනෝජන් වරදකරු කර තිබිණි.ඔහුට සවුදි Anti-Cyber Crime Law යටතේ වරදක් සහ නබි මුහම්මද්තුමාට වාචික අපහාස කිරීම සම්බන්ධ වරදක් නියම කරමින් වසර පහක සිර දඬුවමක් සහ සවුදි රියාල් මිලියන තුනක දඩයක් පනවා තිබුණි. භාවිත කළ ඉලෙක්ට්‍රොනික උපකරණය රාජසන්තක කිරීමට සහ අදාළ සමාජ මාධ්‍ය ගිණුම වසා දැමීමටද නියෝග කෙරිණි.
අභියාචනය — ජීවිතය බේරාගැනීමට ගත් පියවරක් මරණ දඬුවමකින් අවසන් වෙයි
ජූලි 30 වැනිදා මුල් තීන්දුව ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අනෝජන් සමඟ බන්ධනාගාරයේදී දුරකථනය ඔස්සේ කතා කර තිබේ. එහිදී ඔහු අභියාචනයක් සඳහා සහාය ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දි තිබේ. ඒ අනුව ජූලි 31 වනවිට විදේශ අමාත්‍යාංශයට තීන්දුව ලැබී තිබූ අතර, පසුව පවුලට අභියාචනා ක්‍රියාවලිය පිළිබඳ දැනුම්දී තිබේ. පවුල ද අභියාචනයට එකඟ වී තිබිණි.
එහෙත් පසුව පළවූ වාර්තා අනුව තානාපති කාර්යාලය ලබාගත් නීතිමය උපදෙස්වලින් අභියාචනය සාර්ථක වීමේ හැකියාව “extremely low” ලෙස විස්තර කර තිබූ බව වාර්තා වේ. අභියාචනය අගෝස්තු 24/25 ආසන්නයේ ගොනු කර තිබූ අතර, සැප්තැම්බර් 17 වැනිදා අභියාචනාධිකරණයේ තීරණයෙන් අනෝජන්ට මරණ දඬුවම නියම විය.
රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමය ගැන මතුවන ප්‍රශ්න
මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික සහ කොන්සියුලර් ක්‍රියාදාමය පිළිබඳ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් මතුවේ.
පළමුව, මරණ දඬුවම දක්වා යා හැකි ආගමික අපහාස චෝදනාවක් සහිත නඩුවක මුල් විභාගයේදීම පළපුරුදු සවුදි නීතිඥ නියෝජනය තහවුරු කිරීමට නොහැකි වූයේ ඇයි?
දෙවනුව, අභියාචනයේ සාර්ථකත්වය ඉතා අඩු බවට නීතිමය උපදෙස් ලැබී තිබුණේ නම්, එහි අවදානම් අනෝජන්ට සහ ඔහුගේ පවුලට සවිස්තරාත්මකව පැහැදිලි කළේද?
තෙවනුව, සවුදි පැමිණිල්ල මුල් දඬුවම දැඩි කිරීම සඳහා වෙනම අභියාචනයක් ගොනු කර තිබූ බව ශ්‍රී ලංකා බලධාරීන් දැනගත්තේ කවදාද? එය දැනගත් වහාම පවුල දැනුවත් කළේද?
සිව්වනුව, අභියාචනා අවධියේ නීතිඥ තේරීම, නීති ගාස්තු සහ පවුල වෙත නඩු ලේඛන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් විනිවිදභාවයක් තිබුණේද?
ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම්ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර ඇති අතර, පවුල නීති ගාස්තු ලෙස රුපියල් මිලියන 1.89කට ආසන්න මුදලක් ගෙවූ බවත්, අභියාචනා ලේඛනය පවුල වෙත ලැබීමේ ප්‍රමාදයක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. මේවා මන්ත්‍රීවරයා සහ පවුල මතුකරන චෝදනා වන අතර, ඒවා සම්බන්ධයෙන් සම්පූර්ණ පරිපාලන වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමෙන් තත්ත්වය පැහැදිලි කළ හැකිය.
ආණ්ඩුව කියන්නේ කුමක්ද?
මේ අතර ආණ්ඩුව පවසන්නේ සිද්ධිය ආරම්භයේ සිටම තානාපති කාර්යාලය අනෝජන්ගේ තත්ත්වය පිළිබඳ ක්‍රියා කළ බවයි.විදේශ අමාත්‍යාංශයේ සැප්තැම්බර් 18 නිල නිවේදනය අනුව, රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ සවුදි තානාපති කාර්යාලය හරහා සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරමින් අනෝජන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට හැකි සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර තිබිණි.
විදේශ අමාත්‍යවරයා පසුව පාර්ලිමේන්තුවේදී පැවසුවේ අනෝජන් වෙනුවෙන් සියලු නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මාර්ග භාවිත කරන බවයි. පවුල දැරූ නීති වියදම් ප්‍රතිපූරණය කිරීමටත් ඉදිරි නීති වියදම් රජය භාරගැනීමටත් තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සවුදි රජු වෙත රාජකීය සමාව ඉල්ලා ලිපියක් යැවීමටද පියවර ගෙන ඇත.
මරණ දඬුවමෙන් පසුව වේගවත් වූ රාජ්‍ය මැදිහත්වීම
මෙහි කැපී පෙනෙන කරුණක් වන්නේ මරණ දඬුවම ප්‍රකාශයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සැලකිය යුතු ලෙස පුළුල් වීමයි.ජනාධිපතිවරයා පවුල හමුවීම, සවුදි රජුගෙන් සමාව ඉල්ලා රාජ්‍ය මට්ටමේ ඉල්ලීමක් සූදානම් කර ඇත. ශ්‍රී ලංකා නීති විශේෂඥයන් සම්බන්ධ කරගෙන තිබේ. ආණ්ඩු සහ විපක්ෂ නියෝජිතයන් ඇතුළත් මැදිහත්වීම්ද ආරම්භ වී ඇත.
ඔක්තෝබර් 3 වන අද ලැබෙන නවතම තොරතුරු අනුව, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාපා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔක්තෝබර් 5 වැනිදා සවුදි අරාබිය බලා යාමට නියමිතය. ඔවුන් එරට නීතිඥ සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර, සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් නීතිමය අභියාචනයක් ඉදිරිපත් කිරීමටද කටයුතු සූදානම් වෙමින් පවතී.එහෙත් එම ක්‍රියාමාර්ග සමඟම මතුවන ප්‍රතිපත්තිමය ප්‍රශ්නය වන්නේ — මෙවැනි ඉහළ මට්ටමේ නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික සම්පත් මරණ දඬුවම නියම වීමට පෙර යෙදවිය හැකිව තිබුණේද? යන්නයි.
දැන් අනෝජන්ගේ නඩුව තවත් සාමාන්‍ය කොන්සියුලර් ගැටලුවක් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියකුගේ ජීවිතය සම්බන්ධ නඩුවකි.එබැවින් සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉතිරි නීතිමය මාර්ග භාවිත කිරීම, පළපුරුදු සවුදි නීතිඥයන්ගේ සේවය ලබාගැනීම සහ රාජකීය සමාව සඳහා ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීම මේ මොහොතේ ප්‍රමුඛතාව විය යුතුය.ඒ සමඟම, මෙම අර්බුදය පාලනය වූ පසු පළමු නඩු විභාගයේ සිට මරණ දඬුවම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාදාමය පිළිබඳ විනිවිද පෙනෙන සමාලෝචනයක් සිදුකිරීමද වැදගත් වේ.
මන්ද, විදේශයකදී නීතිමය අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයකුට රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍ය වන්නේ මරණ දඬුවමක් ප්‍රකාශයට පත්වූ පසුව පමණක් නොව — නඩුව ආරම්භ වන මොහොතේ සිටමය.



















Leave a Reply