Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අනුරගේ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! ආර්ථික අර්බුදය, ටිල්වින්ගේ බලය සහ ඉන්දියානු සාගරයේ බල අරගලය මැද ශ්‍රී ලංකාවේ අනාගතය අවදානමක!

ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්–ලෙනින්වාදී දේශපාලන ව්‍යුහය සහ ජාතික ජන බලවේගයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපය අතර ගැටුමක්ද? විධායක ජනාධිපති ධුරය අහෝසි නොකිරීම, පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම සහ ඉන්දියාව–චීනය–ඇමෙරිකාව අතර බල තුලනය පවත්වා ගැනීමේ අභියෝග පිළිබඳ කානගී ජාත්‍යන්තර සාම පදනමේ විශේෂ විශ්ලේෂණයකින් ප්‍රශ්න රැසක් මතු කෙරේ.

ශ්‍රී ලංකාව 2022 වසරේ මුහුණදුන් දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් සිටියද, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරියේ බරපතළ දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් නිර්මාණය වෙමින් පවතින බව ඇමෙරිකාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන Carnegie Endowment for International Peace පළ කළ විශේෂ විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.

Sri Lanka’s Economic and Geopolitical Balancing Act යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති මෙම විශ්ලේෂණය, ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ප්‍රමාදය, ජනතා විමුක්ති පෙරමුණ තුළ පවතින බල ව්‍යුහය, හමුදා හා සිවිල් සබඳතා, දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන භූදේශපාලනික අභියෝග පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරයි.

විශේෂයෙන්ම, වර්තමානයේ පවතින සාපේක්ෂ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුදයක් 2022 ජනතා නැගිටීමෙන් වෙනස් ප්‍රතිඵලයක් ඇති කළ හැකි බවට එම විශ්ලේෂණය අනතුරු අඟවයි.

එනම්, නව ජනතා නැගිටීමක් හරහා ආණ්ඩුවක් වෙනස් වීම වෙනුවට, වඩාත් මර්දනකාරී හා එක් පක්ෂයක බලය තහවුරු කරන පාලන ක්‍රමයක් කරා රට ගමන් කිරීමේ අවදානමක් පවතින බවයි. මෙය සිදුවනු ඇතැයි තහවුරු කළ අනාවැකියක් නොව, කතුවරයා ඉදිරිපත් කරන දේශපාලන අවදානම් තක්සේරුවකි.

159ක පාර්ලිමේන්තු බලයක් තිබියදීත් ප්‍රතිසංස්කරණ ප්‍රමාද ඇයි?

2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් අනතුරුව පැවැති මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 225න් 159ක් දිනා ගත්තේය.මෙය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල බලය බිඳ දැමූ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සැලකුණි.එම ජනවරම හරහා ආණ්ඩුව පොරොන්දු වූයේ දූෂණය මර්දනය කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, බදු ක්‍රමය වෙනස් කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මර්දනකාරී නීති ඉවත් කිරීම ඇතුළු පුළුල් දේශපාලන වෙනසකි.එහෙත් කානගී විශ්ලේෂණයට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සහ ඇතැම් දූෂණ විරෝධී පියවර හැරුණු විට අනෙකුත් ප්‍රධාන ප්‍රතිසංස්කරණවල සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබේ.

ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කර ඇති සාධනීය පියවර අතර 2025 අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත, වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සඳහන් කර තිබේ.එසේ වුවද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම වැනි මූලික පොරොන්දු තවමත් ඉටු වී නොමැති බව විශ්ලේෂණය පෙන්වා දෙයි.මෙහිදී කතුවරයා වැදගත් දේශපාලන ප්‍රශ්නයක් මතු කරයි.ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් සහ සාපේක්ෂ දේශපාලන ස්ථාවරත්වයක් තිබියදීත්, ජනතාවට පොරොන්දු වූ මූලික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි?විශ්ලේෂණයට අනුව, එයට හේතු දෙකක් තිබිය හැකිය.

පළමුවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහන අවසන් අදියරට ළඟාවෙමින් තිබියදී, දේශපාලනිකව අවදානම් සහගත ප්‍රතිසංස්කරණ කල් දැමීමට ආණ්ඩුව පෙළඹීමයි.දෙවැන්න, කලක් විරුද්ධ වූ විධායක බලතල අද තමන් සතුව තිබීම හේතුවෙන් ඒවා අත්හැරීමට පාලක පක්ෂයට ප්‍රබල දේශපාලන අවශ්‍යතාවක් නොතිබීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අනුරට අවශ්‍ය වී තිබේද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ප්‍රධාන දේශපාලන ඉල්ලීමකි.එහෙත් එම පක්ෂයේ නායකයා විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එය අහෝසි කිරීමට ඉක්මන් නොවීම විශේෂ අවධානයට ලක්ව තිබේ.කානගී විශ්ලේෂණය පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අනුර කුමාර දිසානායකට රාජ්‍ය පාලනය සඳහා පමණක් නොව, තම පක්ෂය තුළ බල තුලනය පවත්වා ගැනීම සඳහාද වැදගත් විය හැකි බවයි.විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සතුව පවතින සංවිධානමය බලය සමඟ සසඳන විට ජනාධිපති ධුරය අනුර දිසානායකගේ ස්වාධීන දේශපාලන බලයට වැදගත් ආරක්ෂාවක් විය හැකි බව එහි තර්ක කරයි.

ආණ්ඩුව පාලනය කරන්නේ ජනාධිපතිවරයාද? ජවිපෙ දේශපාලන මණ්ඩලයද?

වාර්තාවේ වඩාත් අවධානයට ලක්වන කොටසක් වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ සැබෑ තීරණ ගැනීමේ බලය පිළිබඳ විග්‍රහයයි.ජාතික ජන බලවේගය විවිධ දේශපාලන සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් කණ්ඩායම්වල එකතුවක් වුවද, එහි සංවිධානමය හා දේශපාලනික හරය ජනතා විමුක්ති පෙරමුණ බව විශ්ලේෂණය සඳහන් කරයි.මෙම තත්ත්වය පැහැදිලි කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලන විද්‍යාඥයකු සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණු නායකයකු වන ජයදේව උයන්ගොඩ ගේ අදහස් උපුටා දක්වා තිබේ.ඔහුට අනුව ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්–ලෙනින්වාදී පක්ෂයක සිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් දක්වා පරිවර්තනය වීමට දේශපාලන මණ්ඩල මට්ටමින් තීරණයක් ගෙන තිබේ.

එහෙත් ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔහු ඉදිරිපත් කරන තවත් ප්‍රකාශයක් විශේෂ වැදගත්කමක් ගනී.

“පක්ෂය සහ ආණ්ඩුව අතර වෙනසක් නැහැ.”

කානගී විශ්ලේෂණයේ සඳහන් වන පරිදි, ආණ්ඩුවේ ප්‍රධාන තීරණ බොහොමයක් ජනාධිපති කාර්යාලය විසින් පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය හරහා ගනු ලබයි.එම දේශපාලන මණ්ඩලයට අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත, බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්ති ඇතුළත් බව එහි දැක්වේ.මෙම බල ව්‍යුහය තුළ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල බලයට අමතරව පක්ෂයේ සංවිධානමය බලය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විශ්ලේෂණය ප්‍රශ්න කරයි.

ටිල්වින් සිල්වා ආණ්ඩුවේ දෙවැනි බල කේන්ද්‍රයද?

1995 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දරන ටිල්වින් සිල්වා පක්ෂයේ සාමාජිකයන් අතර සැලකිය යුතු සංවිධානමය බලයක් සහ බලපෑමක් ඇති නායකයකු බව වාර්තාව සඳහන් කරයි.ජනාධිපති අනුර කුමාර දිසානායක 2015 වසරේදී පක්ෂ නායකත්වයට පත්වූ අතර, ටිල්වින් සිල්වා ඊට දශක දෙකකට පෙර සිටම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.මෙම දීර්ඝ සංවිධානමය අත්දැකීම හේතුවෙන් පක්ෂයේ අභ්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ටිල්වින් සිල්වාගේ බලය සුවිශේෂී බව විශ්ලේෂණය පෙන්වා දෙයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ආණ්ඩුවේ ප්‍රධාන තීරණ ගැනීමේ මධ්‍යස්ථානය බවට පත්වන්නේ නම්, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ බලය ජනාධිපතිවරයාගේ දේශපාලන බලයට සමාන හෝ ඇතැම් අවස්ථාවල ඊට වඩා ප්‍රබල ලෙස පෙනී යා හැකි බව කතුවරයා තර්ක කරයි.කෙසේ වෙතත්, ටිල්වින් සිල්වා ජනාධිපතිවරයාට වඩා බලවත් බව හෝ ඔවුන් දෙදෙනා අතර සෘජු බල අරගලයක් පවතින බව තහවුරු කරන සාක්ෂි විශ්ලේෂණයෙන් ඉදිරිපත් නොවේ.එය පක්ෂයේ සංවිධාන ව්‍යුහය සහ ආණ්ඩුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු කරන දේශපාලන තක්සේරුවකි.

වසර 15ක්, 20ක් හෝ 25ක් බලයේ සිටීමේ සැලැස්ම

ටිල්වින් සිල්වා මීට පෙර කළ ප්‍රකාශයක්ද කානගී විශ්ලේෂණයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.එනම්, එක් දැක්මක් සහ එක් ප්‍රතිපත්ති රාමුවක් යටතේ රට ඉදිරියට ගෙන යාම සඳහා ජාතික ජන බලවේගය වසර 15ක්, 20ක් හෝ 25ක් බලයේ සිටිය යුතු බවට ඔහු කළ ප්‍රකාශයයි.ඔහු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා බව අවධාරණය කර තිබුණද, මෙවැනි දීර්ඝකාලීන බලය පිළිබඳ අදහස් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම එක්ව සලකා බැලීමේදී එක් පක්ෂයක ආධිපත්‍යය තහවුරු වීම පිළිබඳ ප්‍රශ්න මතු වන බව විශ්ලේෂණය සඳහන් කරයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ගේ අදහස්ද මෙහිදී උපුටා දක්වා තිබේ.ඔහුගේ තක්සේරුව වන්නේ ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් පාලන අත්දැකීම් ලබාගෙන බලය තහවුරු කරගන්නා දෙවැනි ධුර කාලයකදී එහි මුල් දේශපාලන දෘෂ්ටිවාදය වඩාත් පැහැදිලිව මතු විය හැකි බවයි.මෙය ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන් අහෝසි වන බවට නිගමනයක් නොව, දේශපාලන බලය අධික ලෙස එක් පක්ෂයක් වටා සංකේන්ද්‍රණය වීමේ අවදානම පිළිබඳ විචාරයකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට තවත් මර්දනකාරී නීතියක්ද?

ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ පොරොන්දු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රධාන තැනක් ගත්තේය.එහෙත් 2025 දෙසැම්බර් මාසයේදී යෝජනා කළ සහ 2026 සැප්තැම්බර් මාසයේදී අතිරේක ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කළ රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ බරපතළ විවේචන එල්ල වී තිබේ.කානගී විශ්ලේෂණය පෙන්වා දෙන්නේ මෙම නව කෙටුම්පත තුළද පැරණි PTA නීතියේ ඇතැම් මර්දනකාරී ලක්ෂණ පවතින බවයි.

විශේෂයෙන්ම චෝදනා ගොනු කිරීමට පෙර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම සහ අධිකරණ අධීක්ෂණයකින් තොරව සංවිධාන තහනම් කිරීමට විධායකයට ලබාදෙන බලතල පිළිබඳ අවධානය යොමු කර ඇත.මෙය ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පොරොන්දු සහ ආණ්ඩු බලය ලැබීමෙන් පසුව ගනු ලබන ක්‍රියාමාර්ග අතර පරස්පරතාවක් ලෙස විශ්ලේෂණය කර තිබේ.

IMF වැඩසටහන අවසන් වන 2027 තීරණාත්මකයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන්ද කානගී විශ්ලේෂණය වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරයි.එහි සඳහන් වන පරිදි, 2024 වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 5ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, 2026 ජුනි මාසය වන විට විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ළඟා වී තිබේ.එසේම 2025 වසරේ විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.04ක් ලෙස දක්වා ඇති අතර, ඉන් ඩොලර් මිලියන 352ක් කොටස් ප්‍රාග්ධනය ලෙසද ඩොලර් මිලියන 692ක් ණය උපකරණ ලෙසද වාර්තා කර තිබේ.මෙම සංඛ්‍යා දත්ත ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණ ඇති බව පෙන්වුවද, එම ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් ප්‍රමාණවත් නොවන බව විශ්ලේෂණයේ අදහසයි.

විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මත පමණක් රඳා නොසිට නව ආදායම් මාර්ග නිර්මාණය කිරීමේ අවශ්‍යතාව එහි අවධාරණය කර තිබේ.2027 වසරේ වර්තමාන IMF වැඩසටහනේ ණය චක්‍රය අවසන් වීමට නියමිත බැවින්, ඉන් පසු ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය සහාය සහ නව එකඟතා පිළිබඳ සාකච්ඡා තීරණාත්මක වනු ඇත.ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහිද එම සාකච්ඡාවල ප්‍රතිඵල බලපානු ඇති බව කතුවරයා පෙන්වා දෙයි.

හමුදාව, යුද අපරාධ චෝදනා සහ උතුරේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්

ශ්‍රී ලංකාවේ සිවිල්–හමුදා සබඳතාද ආණ්ඩුව මුහුණ දෙන තවත් සංවේදී අභියෝගයක් ලෙස විශ්ලේෂණය හඳුන්වයි.2009 වසරේ අවසන් වූ සිවිල් යුද්ධයේදී සිදුවූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමේ ක්‍රියාවලිය තවමත් සීමිත ප්‍රගතියක් පෙන්වන බව එහි සඳහන් වේ.2025 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ 60/1 යෝජනාව මගින්ද වගවීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, හමුදා ආයතන සමඟ පවතින සංවේදී සබඳතා බිඳ වැටීමේ අවදානම හේතුවෙන් ආණ්ඩුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන බව විශ්ලේෂණය පෙන්වා දෙයි.උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා හමුදාවට උපදෙස් ලබාදී තිබුණද, එහි ප්‍රගතිය සීමිත බවද සඳහන් වේ.එමෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම සහ පළාත් සභා මැතිවරණ දීර්ඝ කාලයක් නොපැවැත්වීමද ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන තිබේ.2024 මැතිවරණ ප්‍රකාශනයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ බලය බෙදාහැරීම පිළිබඳ පොරොන්දු ලබාදුන්නද, එහි නිශ්චිත ක්‍රියාත්මක කිරීමේ කාලසටහනක් මෙතෙක් පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බව කානගී විශ්ලේෂණයේ සඳහන් වේ.

පාස්කු ප්‍රහාර විමර්ශන සහ ආරක්ෂක අංශවලට එල්ල වන පීඩනය

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමද වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබේ.ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය ආණ්ඩුවේ වගවීමේ ප්‍රතිපත්තිය පෙන්වන උදාහරණයක් ලෙස කතුවරයා ඉදිරිපත් කරයි.කෙසේ වෙතත්, එම චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වී ඇති බවක් මෙයින් අදහස් නොවේ.හිටපු ආරක්ෂක නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, හමුදා ආයතනවල බලපෑම සහ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා අතර සංකීර්ණ සම්බන්ධතාවක් පවතින බව විශ්ලේෂණය පෙන්වා දෙයි.

ගාල්ල අසල ඉරාන යුද නෞකාව ගිල්වීමෙන් හෙළි වූ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවදානම

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ විශ්ලේෂණය ආරම්භ වන්නේ 2026 මාර්තු මාසයේදී ගාල්ලට නිරිත දෙසින් මුහුදේ සිදුවූ ඉරාන යුද නෞකාවක් ගිල්වීමේ සිද්ධියෙනි.ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Charlotte සබ්මැරීනය විසින් ඉරානයේ IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 104 දෙනකු මියගිය බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවිකයන් 32 දෙනකු බේරාගත් බවත් එහි සඳහන් වේ.මෙම සිද්ධිය හරහා ඉරාන යුද්ධයේ බලපෑම ශ්‍රී ලංකාව ආසන්න මුහුදු ප්‍රදේශය දක්වා පැමිණීම විශේෂ අවධානයට ලක්විය.සිද්ධියෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ශ්‍රී ලංකාව අඛණ්ඩව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම ප්‍රවේශය විවේචනය කරමින් එම සිද්ධිය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ දැඩි පහරක් බව ප්‍රකාශ කර තිබුණි.හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ද ආණ්ඩුව ඉරානයට අපහාස වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කළේය.විශේෂයෙන්ම ඉරාන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ ආකාරය සහ ඇමෙරිකානු සබ්මැරීනයේ චලනයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ දැනුවත්භාවය සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න මතු කර තිබේ.කානගී විශ්ලේෂණය අනුව, මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට එල්ල වූ ප්‍රායෝගික පරීක්ෂණයකි.

ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව අතර ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව බල තුලනය

ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන බලවතුන් තිදෙනකු සමඟ සබඳතා සමතුලිතව පවත්වා ගැනීම මත පදනම් වී ඇති බව විශ්ලේෂණය පෙන්වා දෙයි.එම රටවල් වන්නේ ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.ඉන්දියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික විශ්වාසය ගොඩනැගීම, චීනයේ ආයෝජන සහ මූල්‍ය බලපෑම කළමනාකරණය කිරීම සහ බටහිර රටවල මානව හිමිකම් පීඩනය පාලනය කිරීම මෙම ප්‍රවේශයේ ප්‍රධාන අංග ලෙස හඳුනාගෙන තිබේ.

2022 ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න සහායක් ලබාදීම දෙරට අතර සබඳතා වෙනස් කළ ප්‍රධාන සිදුවීමක් ලෙස විශ්ලේෂණය කර තිබේ.ඒ සමඟම චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැක්වූ මුල්කාලීන ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර චීනය පිළිබඳ විශ්වාසයට බලපෑ බව කතුවරයා පෙන්වා දෙයි.ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ඉන්දියානු බලපෑමට විරුද්ධ දේශපාලන ස්ථාවරයක සිටියද, වර්තමානයේ ඉන්දියාව සමඟ සමීප සබඳතා ගොඩනැගීම මෙම නව යථාර්ථය පිළිබිඹු කරන බව විශ්ලේෂණයේ සඳහන් වේ.

චීනයේ ආයෝජනවලට වඩා ඉන්දියාවේ සහාය දේශපාලනිකව බලවත්ද?

චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අතර පැහැදිලි වෙනසක් පවතින බව කානගී විශ්ලේෂණය පෙන්වා දෙයි.චීනයේ ආයෝජන බොහෝවිට විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති කෙරෙහි යොමු වී තිබේ.හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපොළ, නොරොච්චෝලේ බලාගාරය සහ අධිවේගී මාර්ග ඒ අතර ප්‍රධාන වේ.ඉන්දියාවේ සහාය ඊට වෙනස්ව ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුව සම්බන්ධ වන ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව විශ්ලේෂණයේ දැක්වේ.

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, නිවාස ව්‍යාපෘති, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කන්කසන්තුරේ වරාය සහ සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එවැනි උදාහරණ වේ.ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහාය ඩොලර් බිලියන 7.5 ඉක්මවා ඇති බවද විශ්ලේෂණයේ සඳහන් වේ.මෙම වෙනස හේතුවෙන් චීනයේ විශාල ප්‍රාග්ධන ආයෝජනවලට සාපේක්ෂව ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති වැඩි දේශපාලන ප්‍රතිලාභ ලබාදී ඇති බව කතුවරයාගේ තක්සේරුවයි.කෙසේ වෙතත්, එය චීන ව්‍යාපෘති සියල්ල අසාර්ථක බවට හෝ ඉන්දියානු ව්‍යාපෘති සියල්ල සාර්ථක බවට කරන නිගමනයක් නොවේ.

චීන නෞකාවලට සීමා – ඉන්දියාව සමඟ ආරක්ෂක සබඳතා පුළුල් වෙයි

ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කළද, ඉන්දියානු සාගරයේ ආරක්ෂක කටයුතුවලදී ඉන්දියාව සහ බටහිර රටවල් සමඟ වැඩි සමීපතාවක් පෙන්නුම් කරන බව කානගී විශ්ලේෂණය සඳහන් කරයි.2025 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක අවබෝධතා ගිවිසුම මෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා තිබේ.එම ගිවිසුම සෘජු හමුදා සන්ධානයක් නොවුවද, දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව පුළුල් කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව කතුවරයා පෙන්වා දෙයි.අනෙක් අතට, චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණීම සම්බන්ධයෙන් සීමා පැනවීමද ඉන්දියාවේ ආරක්ෂක සංවේදීතාව සැලකිල්ලට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස විග්‍රහ කර ඇත.2026 මාර්තු මාසයේදී චීනයේ Shi Yan 6 පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර නොදීමද එම ප්‍රවේශයේ උදාහරණයක් ලෙස සඳහන් වේ.මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව චීනය සමඟ ආර්ථික සබඳතා පවත්වාගෙන යන අතර, චීනයේ ආරක්ෂක හා උපායමාර්ගික බලපෑම සීමා කිරීමට උත්සාහ කරන බව විශ්ලේෂණයේ මූලික තර්කයකි.

ඉන්දියානු සාගරයේ යුද්ධයක් ඇතිවුවහොත් මධ්‍යස්ථභාවය රැකගත හැකිද?

ඉදිරියේදී ඉන්දියාව සහ චීනය අතර හෝ ඇමෙරිකාව සහ චීනය අතර ඉන්දියානු සාගරයේ සන්නද්ධ ගැටුමක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය පවත්වා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බව කානගී විශ්ලේෂණය අනතුරු අඟවයි.ඉරාන යුද්ධය අතරතුර ශ්‍රී ලංකාව ඉරාන නාවික යාත්‍රා තුනකට සුහද සංචාරයක් සඳහා අවසර නොදුන් අතර, මත්තල ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් ගොඩබැස්සවීමට කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තාව සඳහන් කරයි.මෙම ක්‍රියාමාර්ග මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමට ගත් උත්සාහයන් ලෙස විග්‍රහ කර තිබේ.

එහෙත් අනාගත ගැටුමක ප්‍රධාන පාර්ශ්වයක් ලෙස ඉන්දියාව හෝ චීනය සෘජුව සම්බන්ධ වුවහොත්, ශ්‍රී ලංකාවට දෙපාර්ශ්වයෙන්ම එල්ල වන පීඩනය ඉතා ඉහළ යා හැකි බව එහි සඳහන් වේ.ඒ අනුව වර්තමාන මධ්‍යස්ථභාවය ස්ථිර ආරක්ෂක සහතිකයක් නොව, බලවතුන් අතර පවතින සබඳතා මත රඳා පවතින සංවේදී ප්‍රතිපත්තිමය තුලනයක් බව කතුවරයාගේ අදහසයි.

ඉන්දියාවට 13 වැනි සංශෝධනය හරහා බලපෑම් කළ හැකිද?

ඉන්දියාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි ප්‍රධාන කරුණු දෙකක් ලෙස මානව හිමිකම් වගවීම සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශ්ලේෂණයේ හඳුනාගෙන තිබේ.1987 ඉන්දු–ලංකා ගිවිසුමෙන් පසු හඳුන්වාදුන් 13 වැනි සංශෝධනය පළාත් සභා ක්‍රමය සහ බලය බෙදාහැරීමේ ව්‍යවස්ථාමය පදනම සකස් කළේය.එහෙත් පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු ඇතැම් අංශ තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැත.2026 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සහ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ බව වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඉන්දියාව මෙම ප්‍රශ්නයේදී දැඩි පීඩනයක් යෙදීමෙන් දෙරට අතර ගොඩනැගී ඇති ආරක්ෂක විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් පවතින බවද විශ්ලේෂණය පෙන්වා දෙයි.ඒ අනුව, ශ්‍රී ලංකාව සිය භූමිය සහ වරායන් ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට එරෙහිව භාවිත කිරීමට චීනයට ඉඩ නොදෙන තාක්, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකළද ඉන්දියාව කොළඹ සමඟ සමීප සබඳතා පවත්වාගෙන යා හැකි බව කතුවරයා තක්සේරු කරයි.

තවත් ආර්ථික අර්බුදයක් ආවොත් සිදුවන්නේ කුමක්ද?

කානගී විශ්ලේෂණයේ වඩාත් බරපතළ අනතුරු ඇඟවීම වන්නේ ශ්‍රී ලංකාව යළිත් ආර්ථික අර්බුදයකට මුහුණදුනහොත් එහි දේශපාලන ප්‍රතිඵල 2022 වසරට වඩා වෙනස් විය හැකි බවයි.2022 අර්බුදය අවසානයේ ජනතා විරෝධතා හරහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් විය.එහෙත් අනාගතයේදී ඇතිවිය හැකි ආර්ථික අර්බුදයක් තුළ ජාතික ජන බලවේග ආණ්ඩුව මහජන විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න තීරණාත්මක බව කතුවරයා පෙන්වා දෙයි.විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්–ලෙනින්වාදී සංවිධාන ව්‍යුහය සහ වර්තමානයේ එය ඉදිරිපත් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිරූපය අතර පවතින ආතතිය එවැනි අවස්ථාවක වඩාත් පැහැදිලිව මතු විය හැකි බව එහි සඳහන් වේ.

ආණ්ඩුවේ වර්තමාන මධ්‍යස්ථ ප්‍රවේශය වෙනුවට වඩාත් දැඩි හා මර්දනකාරී පාලන ක්‍රමයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විශ්ලේෂණය පෙන්වා දුන්නද, එය අනිවාර්ය දේශපාලන ප්‍රතිඵලයක් ලෙස සලකා නැත.

2027–2029 කාලය අනුර ආණ්ඩුවේ අනාගතය තීරණය කරයිද?

වාර්තාවේ සමස්ත විග්‍රහය අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන අභියෝග තුනක් එකවර කළමනාකරණය කිරීමට සිදුවනු ඇත.පළමුවැන්න 2027 වසරෙන් පසු IMF සහාය සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමයි.දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර බල ව්‍යුහය, ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපය සහ පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ අතර පවතින පරස්පරතා කළමනාකරණය කිරීමයි.තුන්වැන්න ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව අතර ඉන්දියානු සාගරයේ වර්ධනය වන බල අරගලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමයි.2029 වසරේ ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත පසුබිම තුළ 2027 සහ 2028 වසරවල ආර්ථික හා දේශපාලන ප්‍රවණතා ආණ්ඩුවේ අනාගතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂණය පෙන්වා දෙයි.

අවසාන විග්‍රහය: බලය රැකගැනීමද, පොරොන්දු වූ ක්‍රම වෙනසද?

කානගී ජාත්‍යන්තර සාම පදනමේ මෙම විශ්ලේෂණය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය හෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ලබා ඇති දේශපාලන ස්ථාවරත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකරයි.ඒ වෙනුවට එම ජයග්‍රහණ දිගුකාලීනව පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ අවධානය යොමු කරයි.මෙහි මූලික ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ පොරොන්දු, බලය හිමිවීමෙන් පසුවද එම දේශපාලන කැපවීමෙන්ම ක්‍රියාත්මක කළ හැකිද යන්නයි.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම, ආරක්ෂක නීති ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම, පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම සහ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තුළ තීරණ ගැනීමේ බලය සංකේන්ද්‍රණය වීම යන කරුණු එම ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර කරයි.

ඒ සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය බොහෝදුරට IMF වැඩසටහන, ඉන්දියාවේ සහාය සහ ජාත්‍යන්තර වෙළෙඳ හා ආරක්ෂක තත්ත්වයන් මත රඳා පවතින බැවින්, දේශීය ප්‍රතිපත්ති සම්පාදනයට ඇති නිදහසද සීමා විය හැකිය.එබැවින් කානගී විශ්ලේෂණයෙන් මතුවන ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට බලය පවත්වාගෙන යා හැකිද යන්න පමණක් නොව, එම බලය භාවිත කරමින් ජනතාවට පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික ක්‍රම වෙනස සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැකිද යන්නයි.2022 අර්බුදයෙන් ගොඩනැගුණු නව දේශපාලන බලාපොරොත්තු ඉටු නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ ඊළඟ අර්බුදය ආර්ථික අර්බුදයකට පමණක් සීමා නොවී, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, රාජ්‍ය බලය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පුළුල් අර්බුදයක් බවට පත්වීමේ අවදානම මෙම විශ්ලේෂණය මගින් ඉස්මතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *