“අනුරගේ ආණ්ඩුවත් රනිල්ගේ සහ රාජපක්ෂලාගේ ආණ්ඩු වගේමයි! ජනතා අරගල ත්රස්තවාදයට හරවා මර්දනය කරන්නයි හදන්නේ” යැයි ස්වස්තිකා අරුලිංගම්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල කර සිටියා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු කඩකරමින්, ඊටත් වඩා මර්දනකාරී නීතිමය ප්‍රතිපාදන ඇතුළත් නව පනතක් හඳුන්වා දීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් අද (13) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill – PSTB) වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ආණ්ඩුවට බලකර සිටියහ.
මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි ස්වස්තිකා අරුලිංගම්, වත්මන් ආණ්ඩුව ජනතා අරගල සහ මහජන විරෝධතා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථකථනය කර මර්දනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරමින් සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කළාය.
“2017දී ත්‍රස්ත විරෝධී නීති අවශ්‍ය නැහැ කිව්ව අය අද මර්දන නීති ගේනවා”
2017 වසරේදී ජාතික ජන බලවේගයට සම්බන්ධ වත්මන් දේශපාලන නායකයන් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා විශේෂ නීති අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කළ ආකාරය තමන්ට ඉතා පැහැදිලිව මතක ඇති බව අරුලිංගම් පැවසුවාය.එවකට එම දේශපාලන කඳවුරේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ මධ්‍යම මට්ටමේ නායකයන් පවා ත්‍රස්ත විරෝධී නීතිවලට විරුද්ධ ස්ථාවරයක් ගෙන සිටි බව ඇය සඳහන් කළාය.එහෙත් අද එම දේශපාලන බලවේගයම බලයට පැමිණීමෙන් පසු, පෙර පැවැති ආණ්ඩු හඳුන්වා දීමට උත්සාහ කළ මර්දනකාරී නීතිවලට බොහෝ දුරට සමාන නීති සම්පාදනය කරමින් සිටින බව ඇය චෝදනා කළාය.විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ යෝජනා වූ ත්‍රස්ත විරෝධී නීතිවලට නව පනත් කෙටුම්පත බොහෝ දුරට සමාන බව ඇයගේ අදහසයි.
“අනුරගේ ආණ්ඩුව, රනිල්ගේ ආණ්ඩුව සහ රාජපක්ෂ ආණ්ඩුව අතර වෙනසක් නැහැ”
ජනතා ව්‍යාපාර සහ මහජන විරෝධතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රවේශය පෙර පැවැති ආණ්ඩුවලට සමාන බවද අරුලිංගම් ප්‍රකාශ කළාය.ඇය පෙන්වා දුන්නේ ජනතාව පාලනය කිරීම, ජනතා ව්‍යාපාර හැසිරවීම සහ එම ව්‍යාපාර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වා දීම යන කරුණු සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ රාජපක්ෂ ආණ්ඩු අතර ඉතා සුළු වෙනසක් පමණක් පවතින බවයි.මෙය හුදෙක් පනතක නම වෙනස් කිරීමක් නොව, රාජ්‍ය මර්දන බලතල නව නීතිමය ආකෘතියක් යටතේ පවත්වාගෙන යාමේ උත්සාහයක් බව ඇයගේ චෝදනාවෙන් ඉස්මතු විය.
“නඩු විභාගය අවසන් වනතුරුම පුද්ගලයකු රඳවා තබන්න පුළුවන්”
නව PSTB පනත් කෙටුම්පත පැරණි PTA පනතට වඩා යහපත් බවට ඉදිරිපත් වන මතයද අරුලිංගම් ප්‍රතික්ෂේප කළාය.ඇය පෙන්වා දුන්නේ පැරණි පනතේ තිබූ රැඳවුම් නියෝග නව කෙටුම්පත යටතේද පවත්වාගෙන යන බවයි.
එපමණක් නොව, නඩු විභාගය අවසන් වන තෙක් පුද්ගලයකු රඳවා තබාගැනීමට හැකි නීතිමය ක්‍රමවේදයක් නව කෙටුම්පත මගින් හඳුන්වා දෙන බවටද ඇය චෝදනා කළාය.ඇයගේ ප්‍රකාශය අනුව, මෙවැනි විධිවිධානයක් පැරණි PTA පනතේ පවා නොතිබුණි.එම නිසා PSTB පනත් කෙටුම්පත පැරණි PTA පනතට වඩා මර්දනකාරී විය හැකි බව ඇය අවධාරණය කළාය.
“හමුදාවටත් අත්අඩංගුවට ගැනීමේ බලතල!”
නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ තවත් බරපතළ චෝදනාවක් වූයේ හමුදා සාමාජිකයන්ට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලතල ලබාදීමයි.පැරණි PTA පනත යටතේ නොතිබූ එවැනි බලතල PSTB මගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති බව ඇය පැවසුවාය.මෙම තත්ත්වය රටේ සාමාන්‍ය නීති පද්ධතිය තුළ ස්ථිර හදිසි නීති පාලනයකට සමාන ව්‍යුහයක් නිර්මාණය කිරීමක් බවද ඇයගේ අදහස විය.ඇය සඳහන් කළේ මෙවැනි නීතිමය වෙනස්කම් සිවිල් නිදහස, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටි සහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් කෙරෙහි බරපතළ බලපෑම් ඇති කළ හැකි බවයි.
“රටේ සැබෑ ත්‍රස්තවාදී තර්ජනයක් නැති වෙලාවක මේ නීති ගේන්නේ ඇයි?”
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සැබෑ ත්‍රස්තවාදී තර්ජනයක් නොමැති බව පවසමින් අරුලිංගම්, මෙවැනි මර්දනකාරී නීති හඳුන්වා දීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්න කළාය.ඇයගේ චෝදනාව වූයේ ආණ්ඩුවේ සැබෑ අරමුණ ත්‍රස්තවාදය මර්දනය කිරීම නොව, ඉදිරියේදී ඇති විය හැකි ජනතා නැගිටීම් පාලනය කිරීම බවයි.විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති, ජීවන වියදම සහ ජනතාව මුහුණ දෙන දෛනික ගැටලු සම්බන්ධයෙන් ඇති වන මහජන විරෝධතා පිළිබඳව ආණ්ඩුව බියට පත්ව සිටින බව ඇය පැවසුවාය.
“IMF ප්‍රතිපත්තිවලට එරෙහි ජනතා නැගිටීම් මර්දනය කරන්නයි මේ සූදානම”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලපෑම යටතේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව නැගෙන ජනතා විරෝධය මර්දනය කිරීමට මෙම නීති යොදාගැනීමේ අවදානමක් පවතින බවද අරුලිංගම් චෝදනා කළාය.ආණ්ඩුව ජනතාවගේ සැබෑ ආර්ථික හා භෞතික අවශ්‍යතා කෙරෙහි දක්වන නොසැලකිලිමත් ප්‍රවේශයට එරෙහිව ජනතාව විරෝධය පළ කරමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.එම විරෝධතා තවදුරටත් වර්ධනය වීම පිළිබඳව ආණ්ඩුව බියට පත්ව සිටින බවත්, සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ ව්‍යාපාර ත්රස්තවාදීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට උත්සාහ කරන බවත් ඇය පැවසුවාය.ඇයගේ ප්රකාශයේදී විශේෂයෙන් අවධාරණය වූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟපෙන්වීම යටතේ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට එරෙහි ජනතා ප්‍රතිරෝධය පාලනය කිරීමට නව නීති භාවිත කළ හැකි බවට ඇති සැකයයි.
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතටත් විරෝධය
PSTB පනත් කෙටුම්පතට පමණක් නොව, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් යෝජනා කර ඇති නව නීතිවලටද විරුද්ධ වන ලෙස අරුලිංගම් ජනතාවගෙන් ඉල්ලා සිටියාය.එම නීති ජනතාව ආරක්ෂා කිරීම සඳහා නොව, සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් සහ ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට යොදාගත හැකි බව ඇය චෝදනා කළාය.එවැනි නීති මගින් ජනතා ව්‍යාපාරවලට එරෙහි රාජ්‍ය මර්දනය තවදුරටත් පුළුල් විය හැකි බවද ඇය අනතුරු ඇඟවූවාය.
“අපි මෙතැනට ආවේ අපේ විරෝධය පෙන්වන්නයි”
සිය ප්‍රකාශය අවසානයේ අරුලිංගම් අවධාරණය කළේ නව පනත් කෙටුම්පතට එරෙහිව සංවිධානාත්මකව විරෝධය දැක්වීම අත්‍යවශ්‍ය බවයි.PSTB පනත් කෙටුම්පතට එරෙහිව නැගී සිටින ලෙසත්, ජනතා අයිතිවාසිකම් සීමා කළ හැකි අනෙකුත් නීතිවලටද විරුද්ධ වන ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.මෙම විරෝධතාවයේ අරමුණ ආණ්ඩුවේ නීතිමය වැඩපිළිවෙළට එරෙහි ජනතා ප්‍රතිරෝධය සහ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම බවද ඇය පැහැදිලි කළාය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි ස්වස්තිකා අරුලිංගම් (Swasthika Arulingam) ඇතුලු සමාජ ක්‍රියාකාරින් මාධ්‍යයට අදහස් දැක්වු අයුරු
