සෞදි අරාබියේදී නබි මුහම්මද්තුමා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අදහසක් පළ කිරීම හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්, සිය ජීවිතය බේරාගැනීම සඳහා ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට කැමැත්ත පළ කර ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරක් යාපනයේ දෙමළ භාෂා පුවත්පතක් විසින් අද (09) අනාවරණය කර තිබේ.විශේෂයෙන්ම, අනෝජන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට එකඟ වුවහොත් ඔහුට නියම කර ඇති මරණ දඬුවම අහෝසි කර රාජකීය සමාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවට අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් වුවද, සෞදි අරාබියේ නීති පද්ධතිය අනුව එවැනි ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙන බවට සහතිකයක් නොමැත.ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ සෞදි අරාබි බලධාරීන් මෙම ආගම මාරු කිරීමේ වාර්තාව පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
සිවරාසා අනෝජන් යනු නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ආසන්නයේ නට්පිඩ්ඩිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි දෙමළ ජාතික තරුණයෙකි.රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් සිටි ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ ආගමික හා සමාජීය මතභේදයක් සම්බන්ධයෙන් ෆේස්බුක්හි පළ කළ අදහසක් හේතුවෙනි.එම සිදුවීමේ ආරම්භය සෞදි අරාබියට සම්බන්ධ නොවූ අතර, ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ ඇතිවූ දේශීය ආරවුලක් දක්වා දිව යයි.කතරගම වන්දනා ගමනකට සහභාගි වූ දෙමළ ජාතිකයන් පිරිසක් සමඟ ගමන් කළ සුනඛයකුට පුද්ගලයකු පා පහරක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් එම ආරවුල ආරම්භ වී තිබිණි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන සහ මතභේද ඇතිවූ අතර, එම අවස්ථාවේදී සෞදි අරාබියේ සේවය කරමින් සිටි අනෝජන් නබි මුහම්මද්තුමා සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබේ.පසුව ඔහු එම ප්‍රකාශය ඉවත් කර සමාව ඉල්ලා තිබුණද, අදාළ ප්‍රකාශය සෞදි අරාබි බලධාරීන් වෙත වාර්තා කර තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ආරම්භ වී ඇත.
නඩුවේ තීරණාත්මක සිදුවීම්
2026 ජූලි 28
අල්-අහ්සා අපරාධ අධිකරණයෙන් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කිරීම.
2026 සැප්තැම්බර් 17
දඬුවම ලිහිල් කරගැනීමේ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය මරණ දඬුවම නියම කිරීම.
2026 ඔක්තෝබර් 09
අනෝජන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සූදානම් බවට යාපනයේ දෙමළ පුවත්පතක වාර්තාවක් පළවීම.
2026 ඔක්තෝබර් 14ට පෙර
ශ්‍රී ලංකා රජය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ගොනු කිරීමට අපේක්ෂා කරන කාලය.
2026 ඔක්තෝබර් 17
ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය ඉදිරිපත් කිරීමට ලබාදී ඇති අවසන් දිනය.
අධිකරණ තීන්දුවෙන් හෙළිවන බරපතළ කරුණු
අධිකරණ තීන්දුවකට අනුව, සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය 2026 ජූලි 28 වැනිදා අනෝජන් චෝදනා දෙකක් යටතේ වරදකරු කර තිබේ.පළමු චෝදනාව වූයේ තොරතුරු සන්නිවේදන ජාලයක් භාවිත කරමින් ආගමික වටිනාකම් සහ පොදු සදාචාරයට හානිවන ආකාරයේ අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කිරීමයි.දෙවැනි චෝදනාව වූයේ නබි මුහම්මද්තුමාට අපහාස කිරීමයි. එය ෂරියා හෙවත් ඉස්ලාමීය නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අධිකරණය විසින් හඳුන්වා දී තිබේ.එම චෝදනා සම්බන්ධයෙන් අනෝජන් වරදකරු කළ අධිකරණය ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.මෙහි විශේෂත්වය වන්නේ මුල් අධිකරණ තීන්දුවෙන් අනෝජන්ට මරණ දඬුවමක් නියම කර නොතිබීමයි.එහෙත්, මෙම නඩුව සෞදි අරාබියේ සයිබර් අපරාධ නීතිය යටතේ පමණක් සලකා බැලීම වෙනුවට ඉස්ලාමීය නීතිය යටතේ විනිශ්චය කරන ලෙස පැමිණිල්ල ඉල්ලා තිබූ බවද වාර්තා වේ.
දඬුවම අඩුකරගැනීමට ගිය අනෝජන්ට මරණ දඬුවම නියම වෙයි
අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් මුල් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ වසර පහක සිරදඬුවම ලිහිල් කරගැනීමේ අපේක්ෂාවෙනි.එහෙත් ශ්‍රි ලංකා ආණ්ඩුවේ අසාර්ථක එම අභියාචනය අනපේක්ෂිත ප්‍රතිඵලයක් ඇති කළේය.විත්තිය විසින් දඬුවම අඩුකරන ලෙස ඉල්ලා සිටියද, පැමිණිල්ල විසින් දඬුවම තවදුරටත් දැඩි කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදා සෞදි අභියාචනාධිකරණය විසින් අනෝජන්ට මරණ දඬුවම නියම කරනු ලැබීය.මෙය අනෝජන්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව, ඔහුගේ නිදහස වෙනුවෙන් ක්‍රියාකරන ශ්‍රී ලාංකික දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට ද දැඩි කනස්සල්ලක් ඇති කළ තීරණයක් බවට පත්ව තිබේ.
ආගම මාරු කිරීමේ යෝජනාව පැමිණියේ කොහෙන්ද?
යාපනයේ දෙමළ භාෂා පුවත්පතක අද පළවූ තීරු ලිපියකට අනුව, අනෝජන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට කැමැත්ත පළ කර ඇති බව සෞදි බලධාරීන් වෙත දැනුම් දී තිබේ.එම තීරු ලිපි රචකයා සඳහන් කර ඇත්තේ අදාළ තොරතුර තමන් ස්වාධීනව තහවුරු කරගත් බවයි.වාර්තාවට අනුව, අනෝජන්ගේ නිදහස වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට සෞදි අරාබියට ගිය ශ්‍රී ලාංකික නියෝජිතයන් එරට බලධාරීන් සහ අනෝජන් හමුවී ඇත.ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.එහිදී අනෝජන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට තීරණය කළහොත් දෙමළ දේශපාලන නායකයන් ඊට විරෝධය දක්වන්නේද, නැතහොත් එය දේශපාලන ගැටලුවක් බවට පත්කරන්නේද යන්න විමසා ඇති බව සඳහන් වේ.අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අදාළ දේශපාලන නායකයන් සහයෝගය දැක්වීමට එකඟ වූ බවද එම තීරු ලිපියේ සඳහන් කර තිබේ.ආගම මාරු කිරීම මඟින් අනෝජන්ට සමාවක් ලබාදීමට සහ මරණ දඬුවම අවලංගු කිරීමට අවස්ථාවක් උදාවිය හැකි බවට නම හෙළි නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලේඛකයා පෙන්වා දී ඇත.
ඉස්ලාම් ආගම වැළඳගත් පමණින් මරණ දඬුවම අහෝසි වේද?
අනෝජන්ගේ නඩුව සම්බන්ධයෙන් මතුව ඇති වැදගත්ම නීතිමය ප්‍රශ්නය වන්නේ ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට එකඟ වුවහොත් මරණ දඬුවමෙන් නිදහස් වීමට හැකිද යන්නයි.ඒ සම්බන්ධයෙන් ඉස්ලාමීය නීති සම්ප්‍රදායන් අතර එකිනෙකට වෙනස් මත පවතී.හනෆි සහ ෂාෆි නීති සම්ප්‍රදායන්ට අනුව, නබි මුහම්මද්තුමාට අපහාස කළ බවට චෝදනා ලැබූ මුස්ලිම් නොවන පුද්ගලයකු පසුව පසුතැවිලි වීම හෝ ඉස්ලාම් ආගම වැළඳ ගැනීම මරණ දඬුවම ඉවත් කිරීමට හේතුවක් විය හැකිය.
එහෙත් මාලිකි සහ හන්බලි නීති සම්ප්‍රදායන් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත් දැඩි ස්ථාවරයක් ගෙන තිබේ.සෞදි අරාබියේ ආගමික නීති භාවිතය තුළ ප්‍රධාන වශයෙන් බලපෑමක් ඇති හන්බලි සම්ප්‍රදායට අයත් 13 වැනි සියවසේ නීති විශාරද ඉබ්න් තයිමියාගේ මතය වූයේ නබි මුහම්මද්තුමාට අපහාස කිරීම මරණ දඬුවමට යටත් විය හැකි වරදක් වන අතර, පසුව ආගම මාරු කිරීමෙන් එම වරද අහෝසි නොවන බවයි.එම නිසා අනෝජන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමෙන් පමණක් ඔහුගේ මරණ දඬුවම අහෝසි වන බව නිශ්චිතව පැවසිය නොහැක.
සෞදි රජුට සමාව දිය හැකිද?
අනෝජන්ගේ නඩුවේ නීතිමය වර්ගීකරණය මෙහිදී අතිශය වැදගත් වේ.සාම්ප්‍රදායික ඉස්ලාමීය නීති විද්‍යාවේ ‘හද්’ ලෙස හැඳින්වෙන නියමිත දඬුවම් සහිත අපරාධ කාණ්ඩයක් පවතී. එවැනි දඬුවම් සම්බන්ධයෙන් රාජකීය සමාව ලබාදීමේ බලය සාම්ප්‍රදායිකව සීමා සහිතය.අනෙක් අතට ‘තාසීර්’ ලෙස හැඳින්වෙන අධිකරණයේ අභිමතය අනුව දඬුවම් නියම කරන අපරාධ කාණ්ඩයක්ද පවතී.එවැනි නඩුවකදී රාජකීය සමාවක් මඟින් නීතිමය සහනයක් ලබාදීමට අවස්ථාව තිබිය හැකිය.
කෙසේ වෙතත්, සෞදි අරාබියේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කරන European Saudi Organization for Human Rights සංවිධානය පෙන්වා දී ඇත්තේ එරට වාර්ෂික රාජකීය සමාවන් මරණ දඬුවමට මුහුණ දෙන සිරකරුවන්ට අදාළ වී නොමැති බවයි.ඒ අනුව අනෝජන්ගේ නඩුවේදී ආගම මාරු කිරීම, රාජකීය සමාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය යන කරුණු එකිනෙකට වෙනස් නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ලෙස සැලකිය යුතුය.
විජිත හේරත් පාර්ලිමේන්තුවට හෙළි කළ තොරතුරු
අනෝජන්ට නියම කර ඇති මරණ දඬුවම අභියෝගයට ලක්කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.අමාත්‍යවරයාට අනුව, ශ්‍රී ලාංකික සහ සෞදි නීතිඥයන් ඒකාබද්ධව අදාළ අභියාචනය සකස් කරමින් සිටිති.
ඒ සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු ද ඇතුළත් ශ්‍රී ලාංකික නීති කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් තිබේ.එම සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් අසාඩ් නවාවි විසිනි.අභියාචනය ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ඔක්තෝබර් 17 වැනිදා වන අතර, ඊට පෙර ඔක්තෝබර් 14 වැනිදාට පෙර අදාළ අභියාචනය ගොනු කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.මේ අතර, අනෝජන්ට නියම කර ඇති දඬුවම ලිහිල් කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් සෞදි විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තමන් අපේක්ෂා කරන බවද විජිත හේරත් ප්‍රකාශ කර ඇත



















Leave a Reply