ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර දිගින් දිගටම පවතින ගැටුම සහ ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ පරස්පර කතා හේතුවෙන් ශ්‍රී ලංකාව දෙපැත්තෙන්ම පීඩනයට ලක්වන අසීරු තත්ත්වයකට ඇද දමා තිබේ.දෙරට අතර යුද්ධය ආරම්භ වී දින කිහිපයක් ගතවීමටත් පෙර, ගාල්ලට ඉතා ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඉරාන යුද නෞකාවක් ඇමෙරිකානු සබ්මැරීනයක් විසින් ගිල්වා දමනු ලැබීය. එම සිදුවීම සාමාන්‍ය හෝ හුදෙකලා සිදුවීමක් ලෙස සැලකිය හැකි එකක් නොවීය. එය ජාත්‍යන්තර යුද ගැටුම් ශ්‍රී ලංකාවට ඉතා ආසන්නයට පැමිණ ඇති බවට අනතුරු ඇඟවීමක් විය.ගිල්වා දැමුණු ඉරාන නෞකාවේ සිටි මියගිය නාවිකයන්ගේ සිරුරු සහ දිවි ගලවාගත් නාවිකයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මානුෂීය පදනම මත මුදාගෙන ඉරානයට භාරදෙනු ලැබීය.තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකාව භාරයට ගෙන මේ වනවිට ත්‍රිකුණාමලය වරායේ රඳවා තිබේ. එහි සිටි නාවිකයන් ද ඉරානය වෙත පිටත් කර යවා ඇත.
මෙවැනි පසුබිමක, පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් පිටත, එහෙත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික මුහුදු කලාපය තුළ ඉරාන තෙල් ප්‍රවාහන නෞකා විශාල සංඛ්‍යාවක් නැංගුරම්ලා සිටින බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව ආසන්නයේ නෞකා 47ක් – ඉන් 19ක් ඉරානයට අයත්!
කොළඹ වරාය සහ ගාල්ල අතර මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලා සිටින ඉරාන තෙල් ප්‍රවාහන නෞකා සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළවී තිබේ.විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුගියදා අනාවරණය කළ තොරතුරු අනුව, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ නෞකා 47ක් පමණ නැංගුරම්ලා සිටින අතර, ඉන් නෞකා 19ක් ඉරානයට අයත් බවයි.මීට පෙර ඇමෙරිකාව ඉරානයේ තෙල් අපනයනයට සම්බාධක පනවා තිබුණි. එම සම්බාධක මඟහැරීම සඳහා ඉරානය සිය තෙල් ප්‍රවාහන නෞකා යොදාගෙන ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවලදී චීනය ඇතුළු විවිධ රටවලට අයත් නෞකාවලට තෙල් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබුණි.
මෙලෙස තෙල් අලෙවි කිරීම සඳහා භාවිත කළ ඊනියා ‘සෙවණැලි නෞකා බලඇණිය’ (Shadow Fleet) ට අයත් නෞකා ඉන්දියානු සාගරයේ රැඳී සිටින බව සඳහන් වේ.විශේෂයෙන්ම මැලේසියාවට ආසන්න මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ මෙවැනි නෞකා විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරානය තෙල් අපනයනය කිරීම ඇමෙරිකාව විසින් අවහිර කර තිබේ.ඇමෙරිකානු යුද නෞකා විසින් පවත්වාගෙන යනු ලබන නාවික අවහිරය මඟහැර යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් ඉරාන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකි වී ඇත.එම නිසා මෙම නෞකා ඉන්දියානු සාගරයේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවට සහ මැලේසියාවට ආසන්න මුහුදු ප්‍රදේශවල නවතා තබා තිබේ.ගැඹුරු මුහුදේ රැඳී සිටීමට වඩා කිසියම් රටක වෙරළ තීරයකට ආසන්නව නැංගුරම්ලා සිටීම ආරක්ෂාව අතින් වාසිදායකය. එමඟින් හදිසි අවස්ථාවකදී අවශ්‍ය සහාය ඉක්මනින් ලබාගැනීමේ හැකියාව ද නිර්මාණය වේ.
පළමු ඇමෙරිකානු පුහුණුව – සම්බාධකවලට ලක්වූ නෞකා හඳුනාගැනීම!
පසුගියදා හදිසියේම ඇමරිකානු USS Tulsa යුද නෞකාව සහ ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් Lieutenant General Vowell’s පැමිණිමත් ඒ සමගම ශ්‍රි ලංකා නාවික හමුදා සහ තොරාගත් STF කණ්ඩායමකට ඇතුලු ඒ අතර පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, වෙරළාරක්ෂක බලකාය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය නිලධාරීන් 40කට වැඩි පිරිසකට විශේෂ පුහුණුවක් ලබාදිමට අදාළ රහසිගත ලේඛනයක් අනාවරණය වි තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා.
ඒ අනුව ඇමෙරිකානු ආරක්ෂක අවශ්‍යතාවලට සහ නීත්‍යනුකූල ගෝලීය වෙළෙඳාමට තර්ජනයක් විය හැකි සමුද්‍රීය සම්බාධක උල්ලංඝනය කිරීම් හඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් දින තුනක පුහුණු වැඩසටහනක් පළමුව පවත්වා ඇති බවයි ඔහු අනාවරණය කළේ.ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ Cooperative Threat Reduction කාර්යාලය, Atlantic Council ආයතනය සමඟ එක්ව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා සංවිධානය කළ මෙම වැඩසටහන සැප්තැම්බර් 9 සිට 11 දක්වා පවත්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධී අංශ දැනුවත් කරමින් ඇමරිකානු ශ්‍රි ලංකා තානාපති එරික් මේයර් සදහන් කර ඇත්තේ ඉන්දියානු සාගරයේ ප්‍රධාන නෞකා භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන බැවින්, නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම්වලින් වරාය සහ මුහුදු කලාප ආරක්ෂා කිරීම නීත්‍යනුකූල වෙළෙඳාම තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් බවත් මෙම පුහුණුව ඒ සමග බැඳුණු එකක් පමණක් බවයි.
අදාළ ලේඛනයට අනුව මෙම වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ සැකකටයුතු නෞකා සහ වංචනික සමුද්‍රීය ක්‍රියාකාරකම් හඳුනාගැනීම, සම්බාධක සහ අවදානම් තක්සේරු කිරීම මෙන්ම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ හෝ ඒ ආසන්නයේ සැකකටයුතු ක්‍රියාකාරකම් අනාවරණය වූ විට රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳවය.ඊට අමතරව සම්බාධකවලට යටත් නෞකාවලට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවා සපයන නෞකා නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ අනෙකුත් සේවා සපයන්නන් මුහුණ දිය හැකි අවදානම් පිළිබඳව ද ශ්‍රී ලංකා නිලධාරීන් දැනුවත් කර තිබුණි. මෙම පුහුණු වැඩසටහන් දෙකෙහි සැබෑ ඉලක්කය ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයේ නැංගුරම්ලා සිටින ඉරාන නෞකා බවට සැකයක් නැත.
දෙවැනි පුහුණුව – න්‍යෂ්ටික හා විකිරණශීලී තර්ජනවලට මුහුණ දීම!.
මෙම රහසිගත පුහුණුවට අදාළවම ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ ඇතිවිය හැකි විකිරණශීලී සහ න්‍යෂ්ටික හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සකස් කිරීමේ දින පහක පුහුණු වැඩමුළුවක්ද පවත්වා තිබේ.මෙම වැඩසටහන සැප්තැම්බර් 21 සිට 25 දක්වා පැවැති අතර, ඇමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය සමඟ එක්ව සංවිධානය කර තිබුණි.
මෙම පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීහු සහභාගි වූහ.ඒ අතර නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික අංශය, විශේෂ යාත්‍රා බලඝණය, වෙරළාරක්ෂක බලකාය, පරමාණුක බලශක්ති නියාමන සභාව, පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලධාරීහු වූහ.මෙම පුහුණු සැසිවලදී ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා සම්මත මෙහෙයුම් මාර්ගෝපදේශ සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාදී තිබුණි.
විකිරණශීලී හදිසි අවස්ථාවලදී ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දේශීය සමුද්‍රීය බලධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
ඇමෙරිකානු හමුදාවේ කාර්යභාරය ශ්‍රී ලංකාවට පැවරීමේ සැලසුමක්ද?
මෙම පුහුණු වැඩසටහන් දෙකෙහි මූලික අරමුණ වූයේ ඇමෙරිකානු සම්බාධකවලට ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ අනුකූල විය යුතු ආකාරයත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරයත් පිළිබඳ අවධානය යොමු කිරීම බවත් ඉතාම පැහැදිලිය.ඒ අනුව වොෂින්ටනයේ අරමුණ වි ඇත්තේ ශ්‍රි ලංකාව තුල ඇමෙරිකානු හමුදා විසින් ඉටුකළ යුතු කාර්යභාරයන් ශ්‍රී ලංකාවට පැවරීමය.
විජිත හේරත් ඉරාන විදේශ ඇමති හමුවීමත් ඇමෙරිකාවට ප්‍රශ්නයක්?
පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හමුවී සාකච්ඡා පැවැත්වීය. මෙම හමුව ද ඇමෙරිකාවේ නොසතුටට හේතුවී ඇති බව වොෂින්ටනයේ අදහස් දැක්විම අනුව ඉතාම පැහැදිලිය.මෙවැනි පසුබිමක ඇමෙරිකාවේ ද්විතීයික සම්බාධක (Secondary Sanctions) සහ ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි අවදානම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවිය.මෙම ද්විතීයික සම්බාධක පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත්කර තිබුණි.ඉන් අනතුරුව සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවේදී ඒකාබද්ධ පුහුණු වැඩසටහන් හෝ වැඩමුළු දෙකක් සංවිධානය කළේය.
ඇමෙරිකාවද? ඉරානයද? ශ්‍රී ලංකාව මුහුණ දෙන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය!
මෙම නෞකා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශවල නැංගුරම්ලා සිටීමට පටන්ගත් අවස්ථාවේ සිටම එම තත්ත්වය දෙරට අතර සබඳතාවලට බලපෑම් ඇති කළ හැකි බවට කනස්සල්ල පළවිය.ඊට හේතුව ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ මෙන්ම ඉරානය සමඟ ද සාම්ප්‍රදායික මිත්‍ර සබඳතා පවත්වාගෙන යන රටක් වීමයි.ඉරානය සමඟ ශ්‍රී ලංකාවට දිගුකාලීන තෙල් සහ තේ වෙළෙඳ සබඳතා පවතී.ශ්‍රී ලංකාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිකිරීමට සහාය වූයේ ද, උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය ඉදිකිරීමට දායක වූයේ ද ඉරානයයි.
අනෙක් අතට, ඇමෙරිකාව අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළවලින් එකකි.එපමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීමේදී සහ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇමෙරිකාවේ සහාය වැදගත් වී තිබේ.එබැවින් ඇමෙරිකාව සමඟ පවතින සබඳතාවලට විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.අනිත් අතට බලයට එම සදහා වත්මන් ජනාධිපති අනුර දිසානායක ඇමරිකානු රාජ්‍ය සමග ඇතිකර එකඟතා මත පසුව අත්සන් කල රහසිගත ගිවිසුම් හේතුවෙන් මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරි තිබේ.
